2026-11-08 20:49:00 Hours

කාලගුණය ආයෙත් කැළඹෙයි - පැය 12ක් තුළ 211mmක වැඩිම වැස්ස හිනිදුමට


...

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ගතවූ පැය 12 තුළ වැඩිම වර්ෂාපතනය ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයට මිලිමීටර් 211ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, පවතින අධික වර්ෂාව හේතුවෙන් ජලාශ රැසක වාන් දොරටු විවෘත කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දැඳුරු ඔය ජලාශයේ වාන් දොරටු 8ක්ද, මානන්කට්ටිය, උඩවලව සහ බඳගිරිය ජලාශවල වාන් දොරටු 4 බැගින්ද විවෘත කර ඇති බව සඳහන්.

අලිකොටආර ජලාශයේ වාන් දොරටු 3ක්ද, රාජාංගනය, අංගමුව, අඹේවෙල, යෝධවැව සහ මවුආර ජලාශවල වාන් දොරටු 2 බැගින්ද විවෘත කර තිබෙනවා.

එමෙන්ම කැණියන් සහ කුකුළේ ගඟ ජලාශවල වාන් දොරටු එක බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සිට මහනුවර සහ නානුඔය දක්වා දුම්රිය ධාවනය අත්හිටුවා තිබෙනවා.

එමෙන්ම රඹුක්කන සිට මාතලේ දක්වා දුම්රිය ධාවනය ද සිදු නොවන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.

මේ අතර, දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා ඉදිරි පැය 24ක කාලයට බලපැවැත්වෙන පරිදි නායයෑම් පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විමසිලිමත් විය යුතු කහ පැහැති අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ මෙසේයි.

- බදුල්ල: මීගහකිවුල - ගාල්ල: තවලම, නාගොඩ - මහනුවර: තුම්පනේ, මිනිපේ - කෑගල්ල: අරණායක, මාවනැල්ල, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය, කෑගල්ල, වරකාපොළ - මාතර: පස්ගොඩ - මොනරාගල: වැල්ලවාය - නුවරඑළිය: කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර, මතුරට, හඟුරන්කෙත - රත්නපුර: කොලොන්න, වැලිගෙපොල, ගොඩකවෙල, බලංගොඩ

අවදානම් මට්ටමේ ඇම්බර් පැහැති අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ වන්නේ, - මහනුවර: උඩුදුම්බර - මාතර: කොටපොල - නුවරඑළිය: නිල්දණ්ඩාහින්න, වලපනේ, ධීවර සහ නාවික ප්‍රජාවටත් අනතුරු ඇඟවීම්

මේ අතර, බෙංගාල බොක්ක සහ අරාබි මුහුදු ප්‍රදේශවල පවතින තද සුළං සහ රළු මුහුදු තත්ත්වය සම්බන්ධයෙන් ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාව වෙත අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අද (08) පස්වරු 3ට නිකුත් කළ එම නිවේදනය ඉදිරි දින තුන සඳහා බලපැවැත්වෙන බව සඳහන්.

අද පෙරවරු 6 සිට පස්වරු 6 දක්වා වාර්තා වූ ආපදා සිදුවීම් පදනම් කරගනිමින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මෙම තොරතුරු නිකුත් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk