2026-11-07 21:32:00 Hours

කොළඹ හදිසි ගංවතුර තත්ත්වයන්ට මුහුණදීමට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්


...

කොළඹ නගරයේ හදිසි ගංවතුර තත්ත්වයන්ට කඩිනමින් මුහුණදීම සඳහා විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

කොළඹ නගරයේ හදිසි ගංවතුර තත්ත්වයන්ට බලපාන හේතු සහ ඒවාට ගත යුතු කඩිනම් විසඳුම් පිළිබඳ සොයා බැලීම සඳහා අද (07) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මෙම උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එහිදී කොළඹ මහ නගර සභාවේ නිලධාරීන් පෙන්වාදී ඇත්තේ ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇති වූ ක්ෂණික ගංවතුර තත්ත්වයට ප්‍රධාන හේතුව පැයක් තුළ මිලිමීටර් 129ක පමණ අධික වර්ෂාපතනයක් ලැබීම බවයි.

කෙසේ වෙතත්, දැනට පවතින කාණු සහ ජලාපවහන පද්ධතිය සැලසුම් කර ඇත්තේ පැයකට මිලිමීටර් 30ක පමණ වර්ෂාපතනයකට ඔරොත්තු දෙන පරිදි බවද එහිදී අනාවරණ වී තිබෙනවා.

ඒ අනුව කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අදාළ රාජ්‍ය ආයතන සම්බන්ධ කරගනිමින් මෙම විශේෂ මෙහෙයුම් කණ්ඩායම ස්ථාපිත කිරීමට නියමිතයි.

මීට අමතරව, පවතින කාණු සහ ජලාපවහන පද්ධති වැඩිදියුණු කිරීම සඳහා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

අවිධිමත් ලෙස කසළ බැහැර කිරීම හේතුවෙන් කාණු පද්ධති සහ ඇළ මාර්ග අවහිර වීමත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජලය බැස යාමට බාධා ඇතිවීමත් පිළිබඳවද මෙහිදී අවධානය යොමුව ඇති බව සඳහන්.

ඒ අනුව අවහිර වී ඇති කාණු සහ ජල මාර්ග කඩිනමින් පිරිසිදු කිරීම, අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සහ අවිධිමත් ලෙස කසළ බැහැර කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වී තිබෙනවා.

එමෙන්ම ජල මාර්ග පිරිසිදුව පවත්වාගෙන යාම සහ විධිමත් ලෙස කසළ බැහැර කිරීම පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදී අවධානය යොමු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk