2026-08-17 11:29:00 Hours
2027 වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත පළමු ICC කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට අහිමිවීමේ අවදානමක් මතුව ඇති බව වාර්තා වනවා.
The Sunday Times වාර්තාවකට අනුව, කණ්ඩායම් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය පෙබරවාරි 14 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත්, මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රජය විසින් පත්කළ අතුරු කමිටුවක් යටතේ පාලනය වීම හේතුවෙන් මෙම තත්ත්වය මතුව තිබෙනවා.
දේශපාලන මැදිහත්වීමකින් පත්කරන ලද පරිපාලන කමිටු පිළිගැනීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය අතීතයේදී දැඩි ස්ථාවරයක සිට ඇති බැවින්, මෛත්‍රි මාවතේ පිහිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහා යළි තේරී පත්වූ පරිපාලනයක් පත් නොකළහොත් සත්කාරකත්වය වෙනත් රටකට ලබාදීමේ අවදානමක් පවතින බව වාර්තා සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා පවසන්නේ තරගාවලියේ සත්කාරකත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් ICC වෙතින් මේ දක්වා කිසිදු නිල දැනුම්දීමක් ලැබී නොමැති බවයි.
"මේ වනවිට අපි තරගාවලියේ සත්කාරකයින්. නමුත් එවැනි හැකියාවක් සම්පූර්ණයෙන්ම බැහැර කළ නොහැකියි" යනුවෙන් ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යවස්ථා සංශෝධනය සඳහා අතුරු කමිටුව විසින් කෙටුම්පතක් සකස් කර ක්‍රීඩා අමාත්‍යවරයා වෙත භාරදී ඇති බවද වාර්තා වනවා.
එම කෙටුම්පත නීතිමය සහ පාර්ලිමේන්තු පරීක්ෂාවට ලක් කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බැවින්, ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇති බව සඳහන්.
2024 වසරේදීද ශ්‍රී ලංකාවට ICC වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය අහිමි වූයේ එවකට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් තේරී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය විසුරුවා හැරීමෙන් පසුවයි.
එම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවට සැලකිය යුතු මූල්‍ය පාඩුවක්ද සිදුව තිබුණා.
කාන්තා චැම්පියන්ස් කුසලාන තරගාවලිය ආරම්භ වීමට තවත් මාස හයකටත් අඩු කාලයක් පවතින බැවින්, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සම්බන්ධයෙන් පවතින අර්බුදය තරගාවලියේ සත්කාරකත්වයට බලපෑම් එල්ල කරනු ඇතිද යන්න පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk