2026-08-13 14:06:00 Hours

ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයෙන් ඉවත් වෙයි


...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් මෙම මස අවසානයේදී සිය ධුරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ මේ බව නිවේදනය කරමින් සඳහන් කර ඇත්තේ, පවුලේ සාමාජිකයින් සහ දරුවන් සමඟ වැඩි කාලයක් ගත කිරීම සඳහා ලෙවිට් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඇයගේ තීරණය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නා බවත්, එයට ගරු කරන බවත් මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පවසා තිබෙනවා.

ධුරයෙන් ඉවත්වීමෙන් පසුවද ලෙවිට් සිය ප්‍රධාන බාහිර උපදේශකවරියක ලෙස මෙන්ම රිපබ්ලිකන් පක්ෂය තුළ ප්‍රබල හඬක් ලෙස කටයුතු කරනු ඇති බවටද ට්‍රම්ප් විශ්වාසය පළකර ඇත.

වයස අවුරුදු 28ක් වන කැරොලයින් ලෙවිට් පසුගිය වසරේදී ඉතිහාසයේ ලාබාලතම ධවල මන්දිර මාධ්‍ය ලේකම්වරිය ලෙස පත්වූ අයෙක් ලෙස සැලකෙන අතර ඇය වෙනුවට නව මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්වන්නේ කවුරුන්ද යන්න මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත්කර නොමැත.

ඇය සිය 'X' ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, පවුල සහ මව්පිය වගකීම් සඳහා ප්‍රමුඛත්වය ලබාදීම මෙම තීරණයට හේතුව බවයි.

දරුවන් දෙදෙනෙකු රැකබලා ගනිමින් ලෝකයේ වඩාත් අභියෝගාත්මක රැකියාවක් ලෙස සැලකෙන ධවල මන්දිර මාධ්‍ය ලේකම් ධුරයේ කටයුතු කිරීම තමන් මුහුණ දුන් දුෂ්කරම අත්දැකීමක් වූ බවද ඇය සඳහන් කර තිබෙනවා.

ට්‍රම්ප්ගේ පළමු ධුර කාලයේදී සහකාර මාධ්‍ය ලේකම්වරියක ලෙස කටයුතු කළ ලෙවිට්, පසුව කොංග්‍රස් මන්ත්‍රීවරියක වන එලිස් ස්ටෙෆනික්ගේ සන්නිවේදන අධ්‍යක්ෂවරිය ලෙසද සේවය කර ඇත.

2024 ජනාධිපතිවරණ ව්‍යාපාරයේදී ට්‍රම්ප්ගේ මාධ්‍ය ලේකම්වරිය ලෙස කටයුතු කළ ඇය, ධවල මන්දිරයේදී මාධ්‍ය සමඟ දැඩි සංවාදාත්මක ප්‍රතිපත්තියක් අනුගමනය කළ නිලධාරිනියක ලෙසද ප්‍රසිද්ධියට පත්ව සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk