2026-08-12 09:51:00 Hours

22 වැනි සංශෝධනයට නීතිඥ සංගමයෙන් දැඩි විරෝධය


...

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ඇතුළත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, නඩු විභාග කඩිනම් කිරීම සහ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් මෙම සංශෝධනය ගෙන එන බව රජය පැවසුවද, විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ එම අරමුණු අතර සම්බන්ධතාවය පැහැදිලි නොවන බවයි.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති විරෝධතා සහ කරුණු නොතකා රජය එය තවදුරටත් ඉදිරියට ගෙන යන්නේ නම්, පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සෘජුවම ඉදිරිපත් කළ යුතු බවද ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරනවා.

අධිකරණයේ ස්වාධීනත්වය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබාදී ඇති විශේෂ ආරක්ෂාව සැලකිල්ලට ගනිමින්, උසස් අධිකරණවල විනිසුරුවන්ගේ විශ්‍රාම වයස වෙනස් කිරීම සඳහා ජනතාවගේ සෘජු අනුමැතිය ලබාගැනීම අත්‍යවශ්‍ය බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

එමෙන්ම, මෙවැනි සංශෝධන සිදුකිරීමට පෙර වෙනත් රටවලදී විනිවිදභාවයෙන් යුත් සහ සියලු පාර්ශ්ව සහභාගී කරගත් දීර්ඝ උපදේශන ක්‍රියාවලීන් සිදුකර ඇති බවද නීතිඥ සංගමය සඳහන් කරනවා.

එහෙත් ශ්‍රී ලංකාවේදී ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ කිසිදු අර්ථවත් උපදේශනයක් සිදුකර නොමැති බවටද ඔවුන් චෝදනා කරනවා.

මෙවැනි උපදේශන ක්‍රියාවලියකින් තොරව සංශෝධනය අසාමාන්‍ය ලෙස කඩිනමින් ඉදිරියට ගෙන යාම මහජන විශ්වාසය බරපතළ ලෙස හීන කරන බවද නීතිඥ සංගමය පෙන්වා දෙනවා.

එමෙන්ම, අනාගත රජයන්ට අධිකරණයේ ක්‍රියාකාරීත්වය සහ ස්වාධීනත්වය තම අභිමතය පරිදි වෙනස් කිරීමට උත්සාහ කළ හැකි භයානක පූර්වාදර්ශයක් මෙවැනි ක්‍රියාමාර්ගයකින් ඇති විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk