2026-08-17 11:41:00 Hours
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ප්‍රදේශවල ප්‍රතිසංස්කරණ සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ලබාදුන් මුදල්වලින් මේ දක්වා භාවිත කර ඇත්තේ සියයට 30ක පමණ ප්‍රමාණයක් බව අනාවරණය වී තිබෙනවා.
ඒ අනුව, ඉතිරි මුදල් කඩිනමින් ප්‍රතිලාභීන් වෙත ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශය දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
භාණ්ඩාගාර වාර්තා අනුව, 2026 ජනවාරි සිට ජූලි මාසය දක්වා ගංවතුර හා නායයෑම්වලින් හානි වූ ප්‍රදේශවල වන්දි ගෙවීම් සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය රුපියල් බිලියන 86.7ක මුදලක් නිකුත් කර තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන් වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 26.4ක් පමණක් වන අතර, එය සමස්ත මුදලින් සියයට 30කට ආසන්න ප්‍රමාණයක්.
ඒ අනුව තවත් රුපියල් බිලියන 60.3ක මුදලක් භාවිත නොකර ඉතිරිව තිබෙනවා.
අගෝස්තු 12 වැනිදා ලිපියක් නිකුත් කරමින් ආපදා කළමනාකරණ අංශයේ අතිරේක ලේකම්වරයා දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම්දී ඇත්තේ ඉතිරි මුදල් ප්‍රමාදයකින් තොරව ප්‍රතිලාභීන් වෙත ලබාදීමට කටයුතු කරන ලෙසයි.
මේ අතර, ආපදාවට ලක්වූ පවුල් නැවත පදිංචි කිරීමේ වැඩසටහන්ද මන්දගාමීව ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.
ඒ සඳහා වෙන්කර තිබූ රුපියල් බිලියන 1.05ක මුදලින් ජූලි 31 වනවිට වැය කර ඇත්තේ රුපියල් මිලියන 190ක් හෙවත් සියයට 18ක් පමණයි.
ඒ අනුව තවත් රුපියල් මිලියන 868ක මුදලක් භාවිත නොකර ඉතිරිව තිබෙනවා.
නැවත පදිංචි කිරීමේ වැඩසටහන් සහ යටිතල පහසුකම් සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවද බලධාරීන් අවධාරණය කර ඇති අතර, ඒ සඳහා තවත් රුපියල් බිලියන 1.94ක මුදලක් වෙන් කිරීමට නියමිත බව සඳහන්.
කෙසේ වෙතත්, හදිසි සහන ලබාදීමේ කටයුතු සාපේක්ෂව කාර්යක්ෂමව සිදුව ඇති අතර, ආපදාවට ලක්වූ ජනතාවට ලබාදීම සඳහා නිකුත් කළ රුපියල් බිලියන 7.6ක මුදලින් ජූලි 31 වනවිට සියයට 85ක් පමණ ප්‍රතිලාභීන් වෙත ලබාදී තිබෙනවා.
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ ප්‍රදේශවල ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ යටිතල පහසුකම් නැවත ගොඩනැගීම සඳහා සහන මුදල් කඩිනමින් ජනතාව වෙත ලබාදීම අත්‍යවශ්‍ය බවද බලධාරීන් අවධාරණය කර සිටිනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk