2026-08-01 23:34:00 Hours

මහර සිද්ධියෙන් පසු නාමල්ගෙන් රජයට දැඩි චෝදනා


...

මහර බන්ධනාගාරයේ අද (01) ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සිය X ගිණුම ඔස්සේ අදහස් පළ කර තිබෙනවා.

ඔහු සඳහන් කර ඇත්තේ, කෙටි කාලයක් තුළ සිදුවූ දෙවන ප්‍රධාන බන්ධනාගාර නොසන්සුන්තාව මෙය වන අතර, එය තවදුරටත් හුදෙකලා සිදුවීමක් ලෙස සැලකිය නොහැකි බවයි.

මෙම තත්ත්වය දුර්වල කළමනාකරණය, නොසැලකිල්ල සහ දැඩි පීඩනයකට ලක්ව ඇති බන්ධනාගාර පද්ධතියක ප්‍රතිඵලයක් බව පෙන්වා දෙන ඔහු, මෙය එක් සිදුවීමක් පමණක් නොව, නායකත්වයේ දුර්වලතාව සහ කාලයක් තිස්සේ පිරිහීමට ඉඩ හැර ඇති බන්ධනාගාර පද්ධතියේ අර්බුදය පිළිබිඹු කරන සිදුවීමක් බව ද ප්‍රකාශ කර තිබෙනවා.

එමෙන්ම, වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ පවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා ස්ථිර බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයෙකු පත් කර නොමැති බව සඳහන් කළ නාමල් රාජපක්ෂ, එවැනි තීරණාත්මක තනතුරක් මෙතෙක් ස්ථිරව පුරවා නොමැත්තේ මන්දැයි ප්‍රශ්න කර ඇත.

අතිරේක ආරක්ෂක නිලධාරීන් යෙදවීමෙන් තාවකාලිකව තත්ත්වය පාලනය කළ හැකි වුවද, බන්ධනාගාරවල අධික තදබදය, ප්‍රමාණවත් පහසුකම් නොමැති වීම, සෞඛ්‍ය සේවා ගැටලු සහ පුනරුත්ථාපන වැඩසටහන්වල පවතින අඩුපාඩු සඳහා කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ද ඔහු අවධාරණය කර තිබෙනවා.

බන්ධනාගාර දඬුවමකින් පුද්ගලයෙකුගේ නිදහස පමණක් සීමා වන අතර, ඔහුගේ ගෞරවය අහිමි නොකළ යුතු බව සඳහන් කළ නාමල් රාජපක්ෂ, තාවකාලික පියවරවලින් ඔබ්බට ගොස් බන්ධනාගාර පද්ධතියේ මූලික ගැටලු විසඳීමට රජය වහා පියවර ගත යුතු බව ද සිය X සටහනෙන් අවධාරණය කර ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk