2026-08-10 09:42:00 Hours

හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඉරානයෙන් කොන්දේසි


...

ඕමානය සමඟ අවසන් ගිවිසුමකට එළැඹෙමින් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීමට සූදානම් බව ඉරානය පවසනවා.

කෙසේ වෙතත්, සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට නම් අමෙරිකාව කොන්දේසි කිහිපයක් සපුරාලිය යුතු බව ඉරානය අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව, අමෙරිකානු ප්‍රහාරවලින් සිදුවූ හානියට වන්දි ගෙවීම, ඉරානයට එරෙහි තර්ජන සහ ඉරාන හිතවාදී පාර්ශ්වයන්ට එල්ල කරන ප්‍රහාර නැවැත්වීම, සම්බාධක ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන දේපළ නිදහස් කිරීම එම කොන්දේසි අතර වනවා.

එමෙන්ම පර්සියානු ගල්ෆ් කලාපයේ අමෙරිකානු නාවික වැටලීම් නතර කළ යුතු බවද ඉරානය සඳහන් කර තිබෙනවා.

ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි ප්‍රකාශ කර ඇත්තේ ඕමානය සමඟ ඇති කරගන්නා ගිවිසුම මගින් නව නාවික මාර්ග තීරණය කළ හැකි වුවත්, අමෙරිකාව සිය ඉල්ලීම් ඉටු කරන තෙක් හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවයි.

ජූනි මාසයේදී ඇති කරගත් අතුරු ගිවිසුම අමෙරිකාව විසින් කඩකර ඇති බැවින් සෘජු සාකච්ඡා නොපවත්වන බවත්, මැදිහත්කරුවන් හරහා පමණක් දෙරට අතර පණිවිඩ හුවමාරු වන බවත් ඔහු සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත්, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ තමන් ඉරානය සම්බන්ධයෙන් දැඩි ලෙස මැදිහත් නොවී, එරට මුහුණ දෙන ආර්ථික පීඩනය දෙස බලා සිටින බවයි.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk