2026-06-30 13:42 Hours
සිනමා නිළි රැජිණ ලෙස විරුදාවලිය ලැබූ දිවංගත මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව ඇසුරින් නිර්මාණය වන "රැජිණියේ" සිනමාපටය සම්බන්ධයෙන් ඇගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් රංගන ශිල්පිනී සමනලී ෆොන්සේකා අදහස් පළ කර තිබෙනවා.
එම නිවේදනයෙන් ඇය සඳහන් කරන්නේ, මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිතය ඇසුරින් සිනමාපටයක් නිර්මාණය කිරීම පිළිබඳව පවුලේ කිසිවෙකුට විරෝධයක් නොමැති බවයි.
කෙසේ වෙතත්, එම නිර්මාණයට අදාළ තිරපිටපත පවුලේ සාමාජිකයන් වෙත ලබා දෙන බවට නිෂ්පාදන පාර්ශ්වය ලබා දුන් පොරොන්දුව ඉටු නොකළ බවත්, කිසිදු අවසන් සාකච්ඡාවකින් තොරව අද (30) රූගත කිරීම් ආරම්භ කර ඇති බවත් ඇය චෝදනා කරනවා.
සමනලී ෆොන්සේකා පවසන්නේ, ජයන්ත ධර්මදාස මහතා මාලිනී ෆොන්සේකා මහත්මියගේ අවසන් කාලයේ ලබාදුන් සහයෝගය වෙනුවෙන් පවුලේ කෘතඥතාව පළ කළද, සිනමාපටය නිර්මාණය කිරීම වෘත්තීයමය කාරණයක් වන බැවින් ඒ සම්බන්ධයෙන් පවුල නිසි ලෙස දැනුවත් කිරීම සහ විනිවිදභාවයෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වූ බවයි.
එමෙන්ම, දමයන්ති ෆොන්සේකා විසින් අවස්ථා කිහිපයකදී ලිඛිත තිරපිටපත ඉල්ලා සිටියද එය මෙතෙක් ලබා නොදුන් බවත්, යොමු කළ ලිපි සහ පණිවිඩවලට පවා ප්‍රතිචාර නොලැබුණු බවත් එම නිවේදනයේ සඳහන්.
සමනලී ෆොන්සේකා වැඩිදුරටත් පවසන්නේ, මාලිනී ෆොන්සේකාගේ නාමය ප්‍රචාරණ කටයුතු සඳහා භාවිත කරමින්, පවුලේ එකඟතාවයකින් තොරව චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කිරීම සදාචාර විරෝධී ක්‍රියාවක් බවයි.
ඇය අවධාරණය කරන්නේ, මාලිනී ෆොන්සේකා මහත්මියගේ ජීවිතය සහ කීර්තිනාමය සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයන්ට දැනගැනීමේ සහ ඒ පිළිබඳව විමසිලිමත් වීමේ පූර්ණ අයිතියක් ඇති බවත්, මෙම ක්‍රියාදාමය සමස්ත කලා ක්ෂේත්‍රයේ ආචාර ධර්මවලට පටහැනි බවත්ය.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk