2026-08-16 20:04 Hours
වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකළ නවතම ජනමත සමීක්ෂණයට අනුව, ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳ ජනතා අනුමැතිය ඉකුත් පෙබරවාරි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී සියයට 15කින් පහළ ගොස් තිබෙනවා.
පෙබරවාරි මාසයේදී සියයට 65ක් ලෙස වාර්තා වූ ආණ්ඩුව පිළිබඳ ජනතා අනුමැතිය, ජූලි මාසය වනවිට සියයට 50ක් දක්වා අඩුවී ඇති බව සඳහන්.
එය මැතිවරණයෙන් පසු වාර්තා වූ ඉහළම අගය වූ අතර, මාස පහක් ඇතුළත එම අගය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව සමීක්ෂණයෙන් පෙනී යනවා.
මේ අතර, රටේ ආර්ථිකයේ ඉදිරි දැක්ම පිළිබඳ ජනතා විශ්වාසයද කැපී පෙනෙන ලෙස පහළ ගොස් තිබෙනවා.
පෙබරවාරි මාසයේදී සියයට 64ක් වූ එම අගය ජූලි මාසය වනවිට සියයට 42ක් දක්වා පහළ ගොස් ඇති අතර, එය සියයට 22ක අඩුවීමක්.
මේ අතර, වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳ ජනතා තක්සේරුවද පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 19කින් පහළ ගොස් තිබෙනවා.
පෙබරවාරි මාසයේදී සියයට 57ක් වූ එම අගය ජූලි මාසයේදී සියයට 38ක් දක්වා අඩුවී ඇති බව සඳහන්.
එමෙන්ම සමස්තයක් ලෙස රටේ කටයුතු සිදුවන ආකාරය පිළිබඳ ජනතා තෘප්තියද ජූලි මාසයේදී සියයට 38ක් දක්වා පහළ ගොස් ඇති අතර, පෙබරවාරි මාසයේදී එය සියයට 59ක් ලෙස වාර්තා වී තිබුණා.
‘රට හිතන හැටි’ නමින් වෙරිටේ රිසර්ච් ආයතනය සිදුකරන මෙම මත විමසුම එම ආයතනයේ ජනමත සමීක්ෂණයේ කොටසක් වන අතර, එමඟින් රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම අරමුණු කර තිබෙනවා.
නවතම සමීක්ෂණය සඳහා දිවයින පුරා තෝරාගත් ශ්‍රී ලාංකික වැඩිහිටියන් 2,013 දෙනෙකු යොදාගෙන ඇති අතර, එය 2026 ජූලි 11 සිට 30 දක්වා කාලය තුළ සිදුකර ඇති බව සඳහන්.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk