2026-08-14 09:42:00 Hours

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ලබන 18 වනදා පාර්ලිමේන්තුවට


...

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත ලබන 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසන්නේ මෙම පනත් කෙටුම්පත අධිකරණ ක්ෂේත්‍රයේ අඩුපාඩු නිවැරදි කර කාර්යක්ෂම තැනක් බවට පත් කිරීමේ රජයේ වැඩපිළිවෙලේ එක් සාධනීය පියවරක් බවයි.

කෙසේ වෙතත් මෙම කෙටුම්පතට අධිකරණ සේවා සංගමය ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ ත්‍රෛනිකායික මහනාහිමිවරුන් දැඩි ලෙස විරෝධය පළකර තිබෙනවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳව ගැසට් නිවේදනය පසුගියදා නිකුත් කෙරුණා.

මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 සිට 67 දක්වා ද අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 සිට 65 දක්වා ද ඉහළ යනු ඇති.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය අනුව, පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එය අභියෝගයට ලක් කිරීම සඳහා දින 14ක කාලයක් හිමිවනවා. අදාළ පෙත්සම් විභාග කිරීමෙන් පසු දින 3ත් 21ත් අතර කාලයකදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතුයි.

මේ අතර, අදාළ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිම පෙත්සම් සංඛ්‍යාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඇතුළු විවිධ සිවිල් සංවිධාන සූදානම් වන බව වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk