2026-08-11 08:38:00 Hours

කොලොම්බියාවේ ප්‍රබල භූකම්පනයක් - මියගිය ගණන 111ක් දක්වා ඉහළට


...

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 111 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ වැඩිම මරණ සංඛ්‍යාවක් රිසරාල්ඩා පළාතෙන් වාර්තා වී ඇති බවයි.

භූකම්පනය හේතුවෙන් කාලි නගරයට ද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ක්විබ්ඩෝ ඇතුළු ප්‍රදේශ රැසක ගොඩනැගිලිවලට බරපතළ හානි සිදුව ඇති බව සඳහන්.

රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුත් මෙම භූකම්පනයේ කේන්ද්‍රය කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ පිහිටි චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ආසන්නයේ පිහිටා තිබූ බව කොලොම්බියානු භූ විද්‍යා සේවය සඳහන් කරනවා.

එම සේවය පෙන්වා දෙන්නේ කිලෝමීටර් 96ක පමණ ගැඹුරකින් මෙම භූකම්පනය සිදුව ඇති බවයි.

මුදාගැනීමේ සහ සහන මෙහෙයුම් සඳහා බොගෝටා සහ මෙඩෙලින් නගරවලින් ආපදා සහන කණ්ඩායම් කැඳවා ඇති බව වාර්තා වනවා.

මේ අතර, පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

එරට ආපදා කළමනාකරණ ආයතනය සඳහන් කරන්නේ භූකම්පනය කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32කට දැනී ඇති බවයි.

අසල්වැසි වෙනිසියුලාවේ ටචිරා ප්‍රාන්තයට මෙන්ම බැරිනාස් සහ බාර්කිසිමෙටෝ ඇතුළු ප්‍රදේශවලටද භූකම්පනය දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය සඳහන් කර ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk