2026-08-16 11:43:00 Hours

ඩෙංගු රෝගීන් 92,011ක් – මරණ 68යි


...

මෙරටින් මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 92,011 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙන්නේ ඩෙංගු රෝගය හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාවද 68 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

මේ වනවිට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 96ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබෙනවා.

සමස්ත රෝගීන්ගෙන් සියයට 52.96ක් එනම් 48,725 දෙනෙකු බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන පළාත බවටද බස්නාහිර පළාත පත්ව ඇත.

දකුණු පළාතෙන් රෝගීන් 13,533ක්, මධ්‍යම පළාතෙන් 8,274ක් සහ සබරගමුව පළාතෙන් 7,558ක් වාර්තා වී තිබෙනවා.

දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 19,631ක්.

කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,245ක්, මහනුවරින් 6,613ක්, මාතරින් 6,036ක්, කළුතරින් 5,951ක්, ගාල්ලෙන් 5,039ක් සහ රත්නපුරයෙන් 4,935ක් වාර්තා වී තිබෙනවා.

කොළඹ මහ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් ඩෙංගු රෝගීන් 3,700ක් වාර්තා වී ඇති බව සඳහන්.

මේ වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 29,968ක්. ජූනි මාසයේදී රෝගීන් 21,533ක් සහ මැයි මාසයේදී රෝගීන් 8,590ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම අගෝස්තු මාසයේ මුල් දින 15 තුළ පමණක් ඩෙංගු රෝගීන් 6,671 දෙනෙකු වාර්තා වී ඇත.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරමින් පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසත්, උණ රෝග ලක්ෂණ පවතින්නේ නම් ප්‍රමාද නොවී සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk