2026-07-29 11:09:00 Hours

සැබෑ ජනමතය දැනගන්න ඕන නම් සල්ලි දිදී සමීක්ෂණ කරන්නේ නැතිව ඡන්දෙ තියන්න


...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඕනෑම මැතිවරණයකට සූදානම් බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ජනතාවගේ මතය උරගා බැලීමට විවිධ සමීක්ෂණ සිදුකරනවා වෙනුවට පළාත් සභා මැතිවරණය පවත්වා ඒ සඳහා ජනතා ප්‍රතිචාරය ලබාගත හැකි බවයි.

කොළඹ නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

ආණ්ඩුව සිය පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වී ඇති බවට චෝදනා කළ නාමල් රාජපක්ෂ මහතා, ජනතාව මුහුණ දෙන ගැටලු විසඳීම වෙනුවට බලය තහවුරු කර ගැනීමට පමණක් කටයුතු නොකළ යුතු බවද ප්‍රකාශ කළා.

එමෙන්ම, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස සම්බන්ධයෙන් යෝජනා කර ඇති ව්‍යවස්ථා සංශෝධන පිළිබඳවද ඔහු අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ, වෘත්තීයවේදීන්, නීතිඥ සංගම් සහ ජනතාවගේ මතයට පටහැනිව ආණ්ඩුවේ කැමැත්ත මත තීරණ ගැනීමට උත්සාහ කරන්නේ නම් එය වැරදි ක්‍රියාමාර්ගයක් බවයි.

මේ අතර, පෙරහැර ඇතුළු ජාතික උත්සව සඳහා ආරක්ෂාව සැපයීම රජයේ වගකීමක් බවද නාමල් රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරියේදී ගොඩනගන දේශපාලන සන්ධාන පුද්ගල අවශ්‍යතා මත නොව රටේ සහ ජනතාවගේ අවශ්‍යතා මත ගොඩනගන බවයි.

"එක පැත්තකින් ආණ්ඩුව ඡන්දයක් තියන්න සූදානම්ද නැද්ද කියන ප්‍රශ්නය තියෙනවා. මොකද ආණ්ඩුව මේ රටේ ජනතාවගේ මතය උරගා බලන්න ඕනේ නම්, ඔය එක එක ආයතන වලට මුදල් දීලා සමීක්ෂණ වාර්තා කරන්නේ නැතුව පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්. ඉතින් ඒ තුළ තමන්ගේ පළාත් සභා මැතිවරණය තියන්න පුළුවන්.

​ඉතින් ආයතන වලට මුදල් දිදී සමීක්ෂණ කර කර ඉන්න වෙලාවේ පළාත් සභා ඡන්දය තිබ්බා නම්, ජනාධිපතිවරයාට රටේ ජනතාවගෙන් සියයට කීයක් කැමතිද නැද්ද කියලා ජනාධිපතිතුමාට හොයාගන්න පුළුවන්.

​හැබැයි ඉතින් අනිත් පැත්තෙන්, ආණ්ඩුව මේ රටේ ජනතාව බඩගින්නේ තියෙනවා. ඒ සමීක්ෂණ වාර්තාවලම සඳහන් වෙනවනේ ජනතාවගෙන් සියයට 50කට වැඩි ප්‍රමාණයක් බඩගින්නේ ඉන්නවා කියලා.

​ආණ්ඩුව අද තමන් කරපු පොරොන්දු ඉටු කරන්න අපොහොසත් වෙලා තියෙනවා. ඉතින් අපි පක්ෂයක් විදිහට ඕනෑම වෙලාවක ඕනෑම මැතිවරණයකට අපි සූදානම් වෙනවා.

​ආණ්ඩුව හිතනවා නම් ජනතාවගේ මතයට විරුද්ධව, මේ රටේ වෘත්තිකයන්ගෙන් සහ මේ රටේ විශේෂයෙන්ම නීතිපති, මේ රටේ නීති වෘත්තියේ ඉන්න අයගෙන් විශේෂයෙන්ම නීතිඥ සංගමය, ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය, ආසියාතික නීතිඥ සංගමය, ලංකාවේ නීතිඥ සංගමය සහ පහළ අධිකරණවල ගරු විනිශ්චයකාරවරුන්ගේ සහ සමස්තයක් ලෙස මේ රටේ ජනතාවගේ මතයට විරුද්ධව ගිහිල්ලා, ආණ්ඩුවේ තනි කැමැත්තට ව්‍යවස්ථා සංශෝධන ගෙනැල්ලා මේ රටේ බලය තහවුරු කරගන්න පුළුවන් කියලා, ආණ්ඩුවට වැරදිලා.

​ඉතිහාසයේ එවැනි සිදුවීම් වෙච්ච වෙලාවල් වල ඒ කාලයේ තිබිච්ච ආණ්ඩුවලට අත් වෙච්ච තීරණයන් පිළිබඳවත් ආණ්ඩුව අවබෝධය, අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ආණ්ඩුව වැඩ කරන්නේ නැති කොට, තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන්නේ නැති කොට, ආණ්ඩුව උත්සාහ කරන්නේ බලහත්කාරයෙන් තමන්ගේ ආණ්ඩුව පවත්වාගෙන යන්න.

​නෑ, අද ඒක වෙන්නේ නෑ. හැබැයි ඉතින් ඔබට මතක ඇති අපි ඉතිහාසයේ කතරගම පෙරහැරටත් බෝම්බ ගැහුවා. ජීවිත හයක් නැති වුණා. අදටත් වාසනා ඇත් රජාගේ ඇඟේ ඒ බෝම්බ පාරවල් තියෙනවා.

​හැබැයි එදා පෙරහැරට එවකට තිබිච්ච ආණ්ඩුව ආරක්ෂාව දීලා කතරගම දෙවි හාමුදුරුවන්ගේ පෙරහැර පවත්වාගෙන ගියා. ඒ වගේම තමයි දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. එකෙනුත් බෝම්බ ගැහුවා, ජේ.වී.පී. එකෙනුත් ගැහුවා. හැබැයි දළදා පෙරහැර පැවැත්වුවා.

​ඉතින් රටක ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කාලානුරූපව නොයෙක් අභියෝග එනවා. හැබැයි ඉතින් සංවිධානාත්මක අපරාධකරුවන් මෙහෙයවීම මත නම් පෙරහැරේ පැවැත්ම තීන්දු කරන්නේ, ඉතින් එහෙම නම් ආණ්ඩුවක් ඕනේ නැහැනේ. නේද? ඉතින් එහෙම නම් ආණ්ඩුවක් ඕනේ නැහැ.

​ඒ හින්දා ආණ්ඩුව පෙරහැරට සම්බන්ධ වන කාවඩි වෙන්න පුළුවන්, නර්තනකරුවන් වෙන්න පුළුවන්, අලි ඇතුන් වෙන්න පුළුවන්, නිලමේතුමා වෙන්න පුළුවන්, බලන්න එන වන්දනාකරුවන් වෙන්න පුළුවන් මේ අයගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි.

දැන් මැතිවරණයක් නැහැනේ තවම සහ දේශපාලනයේ අපි හංගලා ගහන්නේ නැහැ. අපි විපක්ෂෙ එක්ක සාකච්ඡා කරනවා නම් අපි එළිපිට සාකච්ඡා කරන්නේ. මොකද අපි ඔය දේශපාලනයේ කොළය වහලා ගහපු දේශපාලනයෙන් බැටකාපු අය. අපේ පක්ෂය කැඩිලා විනාශ වෙලා ගියේ ඔය කොළේ වහලා දේශපාලනය කරන්න ගිහිල්ලා.

​ඒ හින්දා අපි පැහැදිලියෙන්ම අපි කියන්නේ, අපි සාකච්ඡා කරනවා නම් අපි ඒක එළිපිට සාකච්ඡා කරනවා මිසක් හැංගි හොරා සාකච්ඡා කරන්නේ නැහැ. මොකද අපි අවසානයේ හැංගි හොරා මොන සාකච්ඡාව කරත් අපි ජනතාව ඉදිරියට යන්න ඕනේ. ඉතින් ජනතාවගේ අවශ්‍යතාවය මත අපි සන්ධාන හදනවා මිසක්, රටේ අවශ්‍යතාවය මත සන්ධාන හදනවා මිසක්, පුද්ගලයන්ගේ අවශ්‍යතාවය මත අපි සන්ධාන හදන්නේ නැහැ.

​නෑ ඉතින් අපිට සාකච්ඡා කරන්න දෙයක් නැහැ. අපේ මතවාදය එක්ක එකඟ වන, අපේ මතවාදය විශ්වාස කරන සහ මේ රටට ගැලපෙන දේශපාලන වැඩපිළිවෙලක් තියෙනවා කියලා විශ්වාස කරන ඕනෑම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්.

​ඒ වගේම තමයි පහුගිය කාලයේ නොයෙක් හේතු හින්දා අපේ අය ඈත් වුණා. ඒ වගේම කණ්ඩායමක් ඈත් වෙනකොට තව කණ්ඩායමක් ළං වුණා. ඉතින් මේ දෙපාර්ශ්වයම ආරක්ෂා කරගෙන අපි ශක්තිමත් බලවේගයක් හදන එක තමයි මට තියෙන වගකීම.

​නාමල් රාජපක්ෂට යන මග හොඳ වුණත්, රටේ ජනතාව මේ මුහුණ දෙන අභියෝගයට හොඳ නැත්නම්, මේ එන කාලසීමාවේ මුහුණ දෙන මග හොඳ නැත්නම්, ඒ මග සුබ කිරීම තමයි නාමල් රාජපක්ෂගේ පළවෙනි අභියෝගය. ඒ හින්දා මේ ආණ්ඩුව ලව්වා තමන් වෙච්ච පොරොන්දු ඉටු කරන එක තමයි අපි ඉස්සෙල්ලා කරන්න ඕනේ."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk