2026-10-13 10:18 Hours

ශිරන්තිව හෘද සැත්කමකට භාජනය කරලා - නීතිඥයෝ අධිකරණය හමුවේ කියයි


...

‘සිරිලිය සවිය’ ගිණුමේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහි නඩුව අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා.

කෙසේ වෙතත්, අද දිනයේදී ඇය අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.

ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අධිකරණයට දැනුම් දුන්නේ, ඇය ඊයේ (12) බන්ධනාගාරයේ සිටියදී හදිසි හෘදයාබාධයකට ලක්වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග අංශයට ඇතුළත් කර ඇති බවයි.

එමෙන්ම, ඇය මේ වනවිට විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් සිටින බව ද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව තහවුරු වුවද, ඇය සැත්කමකට භාජනය කරන බවට තොරතුරක් බන්ධනාගාර නිලධාරීන්ට වාර්තා වී නොමැති බවයි.

ඒ අනුව, ඇය අද දිනයේදී විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් සිටින්නේ ද යන්න වහාම පරීක්ෂා කර දැනුම් දෙන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

බන්ධනාගාර නිලධාරීන් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්ව ඇත්තේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ 61 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බව පමණක් බවත්, ඇයගේ රෝගී තත්ත්වය හෝ සැත්කමක් සිදුකරන බවක් එහි සඳහන් නොවන බවත් මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

ඒ අනුව, අදාළ කරුණු ඇතුළත් වාර්තාව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන තෙක් නඩුව අද පස්වරු 2 දක්වා කල් තැබීමට නියෝග කෙරුණා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk