2026-10-13 20:07:00 Hours
සිරිලිය සවිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඇප ලබාදීම සම්බන්ධයෙන් මේ අවස්ථාවේ නියෝගයක් ලබාදීමට බලාපොරොත්තු නොවන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (13) ප්‍රකාශ කළා.
ඒ අනුව, ශිරන්ති රාජපක්ෂ මහත්මිය ලබන 16 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා.
ඇයගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විසින් ඉදිරිපත් කළ පිටු තුනක වෛද්‍ය වාර්තාව සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම තීරණය ප්‍රකාශයට පත් කළා.
එහිදී මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ශිරන්ති රාජපක්ෂ මහත්මියට ප්‍රතිකාර නොකළහොත් අවදානමක් පවතින බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වන බවයි.
වෛද්‍ය මණ්ඩලයක් යටතේ ඇයට ප්‍රතිකාර සිදුකෙරෙන බවත්, රෝහලෙන් පිටතට ගෙන යා නොහැකි තත්ත්වයක් පවතින බවත් එම වාර්තාවේ දැක්වෙන බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.
එමෙන්ම, ඉදිරි ප්‍රතිකාර සම්බන්ධයෙන් අද පස්වරුවේ වෛද්‍ය මණ්ඩලය තීරණයක් ගැනීමට නියමිත බවද අධිකරණයේදී අනාවරණ වුණා.
අද (13) පෙරවරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී ශිරන්ති රාජපක්ෂ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සඳහන් කළේ, සිය සේවාදායිකාවට හෘදයේ රුධිර නාල තුනක අවහිරතා පවතින බැවින් ඇයට ඇප ලබාදෙන ලෙසයි.
ඇය ඊයේ (12) රාත්‍රියේ සෞඛ්‍ය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කළ බවද ඔහු අධිකරණයට දැනුම් දුන්නා.
එහිදී ඇය විවෘත හෘද සැත්කමකට භාජනය වෙමින් සිටින බව මුලින් ප්‍රකාශ කළද, පසුව එම ප්‍රකාශය නිවැරදි කරමින් එවැනි සැත්කමකට භාජනය වීමට නියමිත බව සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් අධිකරණය කැඳවූ වෛද්‍ය වාර්තාවේ දැක්වුණේ විවෘත හෘද සැත්කමක් සිදුකර ඇති බවක් හෝ එවැන්නක් සිදුකිරීමට සැලසුම් කර ඇති බවක් අනාවරණ නොවන බවයි. ඇයට එන්ජියෝග්‍රෑම් පරීක්ෂණයක් සිදුකර ඇති බවද එහි සඳහන් වුණා.
මේ අතර, සිරිලිය සවිය ගිණුම සම්බන්ධයෙන් සිදුකරන වැඩිදුර විමර්ශන පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළා.
එහිදී ඔහු සඳහන් කළේ, 2006 වසරේදී ආරම්භ කළ මෙම සංවිධානය මුලින් 'ශිරන්ති නවෝදය' ලෙස හැඳින්වූ බවත්, මාස තුනකට පමණ පසු එය 'සිරිලිය සවිය' ලෙස නම් කර ඇති බවත්ය.
එම සංවිධානය විධිමත්ව ලියාපදිංචි කර නොතිබූ බවටත්, එහි කටයුතු සම්බන්ධයෙන් නිල වාර්තා ඉදිරිපත් කර නොතිබූ බවටත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු දැක්වූවා.
එමෙන්ම, සංවිධානයට මුදල් එකතු කිරීම සඳහා යොදාගත් ලිපි ශීර්ෂවල රාජ්‍ය ලාංඡනය සහ ජනාධිපති කාර්යාලයේ ලිපිනය භාවිත කර තිබූ බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළා.
රිජ්වේ ආර්යා ළමා රෝහලට CT ස්කෑන් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා 2010 වසරේ දෙසැම්බර් 8 වැනිදා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් මුදල් ඉල්ලා සිටි බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
මුලින් ඒ සඳහා රුපියල් මිලියන 140ක මුදලක් අවශ්‍ය බව දන්වා පසුව එය රුපියල් මිලියන 50 දක්වා අඩු කර තිබූ බවත්, එවකට ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රදීප් කාරියවසම් මහතාගේ සහාය මත රුපියල් මිලියන 10ක් ලබාදීමට එකඟ වී ඇති බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ප්‍රකාශ කළා.
තවද, 2014 වසරේදී චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI යන්ත්‍රයක් රිජ්වේ ආර්යා ළමා රෝහලට ලබාදීම සිරිලිය සවිය සංවිධානයේ පරිත්‍යාගයක් ලෙස සිදුකර තිබූ බවත්, ඒ වනවිට අදාළ රුපියල් මිලියන 10ක මුදල ගිණුමේ පැවති බවත් අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදුකෙරෙන බැවින් ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඇප ලබාදීමට විරුද්ධ වන බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk