2026-08-10 14:56:00 Hours
2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙම වසර අවසන් වීමට පෙර නිකුත් කිරීමට පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය පවසනවා.
අද (10) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ සැප්තැම්බර් 03 වැනිදා සිට උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි.
2026 උසස් පෙළ විභාගය අද පෙරවරු 8.30ට දිවයින පුරා මධ්‍යස්ථාන 2,532කදී ආරම්භ වී තිබෙනවා. එය සැප්තැම්බර් 05 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙවර විභාගය සඳහා පාසල් අයදුම්කරුවන් 264,496 දෙනෙකු සහ පෞද්ගලික අයදුම්කරුවන් 107,814 දෙනෙකු ඇතුළුව අයදුම්කරුවන් 372,310 දෙනෙකු පෙනී සිටිනවා.
විභාග කටයුතු මේ වනවිට කිසිදු ගැටලුවකින් තොරව පැවැත්වෙන බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය සඳහන් කළා.
සංශෝධනය කර ඇති විභාග කාලසටහන පිළිබඳව අවධානය යොමු කර, නියමිත වේලාවට සහ නියමිත දිනට විභාගයට පැමිණෙන ලෙසද ඇය අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියා.
එමෙන්ම ජංගම දුරකථන, ස්මාර්ට් අත්ඔරලෝසු, ඉලෙක්ට්‍රොනික උපකරණ සහ සටහන් ඇතුළු තහනම් ද්‍රව්‍ය විභාග ශාලාවට රැගෙන ඒමෙන් වළකින ලෙසද දැනුම් දී තිබෙනවා.
විභාග ශාලාව තුළ කතාබහ කිරීම, පිළිතුරු පත්‍ර හුවමාරු කර ගැනීම හෝ විභාගයට බාධා වන ආකාරයෙන් හැසිරීම වැනි අක්‍රමිකතාවලට සම්බන්ධ වන අයදුම්කරුවන්ගේ ප්‍රතිඵල අත්හිටුවීම ඇතුළු දැඩි දඬුවම් ලබාදෙන බවද ඇය අවධාරණය කළා.
විභාග කාර්ය මණ්ඩලය අතරින් ජංගම දුරකථන භාවිත කිරීමට අවසර ඇත්තේ විභාග ශාලාධිපතිවරුන්ට සහ අතිරේක සහකාර ශාලාධිපතිවරුන්ට පමණක් බවද විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවා.
විභාග අක්‍රමිකතාවලට සම්බන්ධ වන ඕනෑම කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට විභාග පනතට අනුව දඬුවම් ලබාදීමට කටයුතු කරන බවද ඇය පෙන්වා දුන්නා.
මේ අතර, මේ වනවිට දිවයිනේ කිසිදු ප්‍රදේශයකින් ආපදා තත්ත්වයක් වාර්තා වී නොමැති බවත්, හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් ඊට මුහුණදීම සඳහා අදාළ සියලු ආයතන සූදානමින් සිටින බවත් විභාග කොමසාරිස් ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk