2026-08-03 15:24:00 Hours

මහවැලි ගඟ පිටාර අවදානම දැඩිවේ - පහත්බිම්වලට රතු නිවේදනයක්


...

මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ අගෝස්තු මස 5 වන දින පස්වරු 1 දක්වා මෙම නිවේදනය බලපැවැත්වෙන බවයි.

මහවැලි ගඟෙහි ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු වර්ෂාපතනය, ඉදිරියේදී වර්ෂාපතනය තවත් ලැබිය හැකි බවට වන පුරෝකථන හා කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කිරීමේ අවදානම් හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්මාගේ, ගඟඉහළ කෝරළය, පම්බාගේ කොරළේ, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශවලට මෙම මහ ගංවතුර තත්ත්වය පිළිබඳ අවදානම් නිවේදනය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තවද එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව පහත් බිම් ආශ්‍රිතව පදිංචි මහජනතාවගෙන් ඒ සම්බන්ධව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස මෙන්ම ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂාවීමට කටයුතු කරන ලෙසද එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ට විශේෂ නිවේදනයක්

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගය කඩුගන්නාව සහ ගනේතැන්න අතර කොටස වසා දමා තිබෙනවා.

මාර්ගය මතට ගල් පෙරළීමේ අවදානම හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ සම්බන්ධයෙන් ඉදිරි නිවේදන නිකුත් කරන තුරු විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි.

හැටන්-කොළඹ පාර දියගලින් වාහන ගමනාගමනය අඩාල වෙයි

අධික වර්ෂාව සමඟ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පස්කඳු කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවනය සම්පුර්ණයෙන්ම අඩාල වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ පස්කඳු සහ ගල් පර්වත මාර්ගයට පතිත වීම හේතුවෙන් හැටන් සිට ගිනිගත්හේන, නාවලපිටිය, මහනුවර සහ කොළඹ දක්වා ගමන් ගන්නා රථවාහන මෙන්ම එම දිශාවන්ගෙන් හැටන් දෙසට පැමිණෙන රථවාහන සඳහා ද ගමනාගමන බාධා එල්ල විය හැකි බවයි.

මෙම තත්ත්වය සමඟ මාර්ගයේ දෙපස විශාල රථවාහන ප්‍රමාණයක් පෝලිම්වල නතර කර තැබීමට සිදුව තිබෙනවා.

ඒ හේතුවෙන් මඟීන් දැඩි අසීරුතාවයට පත්ව ඇති බව වාර්තා වනවා.

පස්කඳු ඉවත් කර මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය මේ වන විට මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම පාසල්වලට හෙට නිවාඩු

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) වසා තබන බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාස අධ්‍යක්ෂකවරයා පවසනවා.

නුවරඑළිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ D.M.S.D. දිසානායක මහතා කියා සිටියේ නුවරඑළිය දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින දැඩි අයහපත් කාලගුණය හමුවේ හෙට (04) දින නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම අධ්‍යාපන කලාපවලට නිවාඩු ලබාදීමට මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා උපදෙස් ලබා දුන් බවයි.

මේ අනුව නුවරඑළිය, හැටන්, වලපනේ, කොත්මලේ, හගුරන්කෙත යන කලාප කාර්යාලවලට මෙලෙස නිවාඩු ලබාදුන් බවද ඔහු පවසනවා.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පෞද්ගලික පාසල් ද හෙට (04) දිනයේ වසා තබන බව සඳහන්.

මේ අතර පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (04) දින වසා තැබීමට තීරණය කර තිබෙනවා.

අඛණ්ඩව පවතින වර්ෂාපතනය සහ හදිසි කාලගුණ තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පාසල් දරුවන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම අරමුණු කරගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටියට සුළු ගංවතුර අවධානමක්

මහවැලි ගඟේ ජල මට්ටම් මේ වන විට පේරාදෙණිය, ගම්පොළ සහ නාවලපිටිය යන ප්‍රදේශවලින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ අද (03) සවස කොත්මලේ ජලාශයේ ජල මට්ටම අද සවස 3ට වාන් දැමීමට නියමිත බවයි.

මේ අනුව මහවැලි ගංගාවේ ජල මට්ටමත් ඉහළ ගොස් ඇති බැවින් එම ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව එම මධ්‍යස්ථානය සඳහන් කරනවා.

උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, උඩපළාත, යටිනුවර, ගඟඉහළ කෝරළය, පස්භාගේ කෝරළය සහ ගඟවට‌ කෝරළයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමට ඉඩකඩ පවතින වාර්තා වනවා.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ දැනටමත් අදාළ ප්‍රදේශ වෙත ත්‍රිවිධ හමුදාව, පොලීසිය යොමු කර ඇති අතර, දිසාපතිවරුන් ඇතුළු සියලු රජයේ නිලධාරීන් දැනුවත් කර ජනතාව ඉවත් කිරීමට උපදෙස් ලබාදී ඇති බවයි.

යම් ආපදා තත්ත්වයක් ඇතිව තිබේ නම් ආපදා කළමනාකරණයේ 117 දුරකථනය අංකය ඔස්සේ දැනුම්දෙන ලෙසද එම මධ්‍යස්ථානය දැනුම් දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk