2026-08-09 12:01:00 Hours

බාල ගල් අඟුරු නිසා මාස 4කදී විදුලි උත්පාදන සමාගමට රු. බිලියන 5.68ක පාඩුවක්


...

බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිත කිරීම හේතුවෙන් මාස හතරක කාලයක් තුළ විදුලි උත්පාදන ලංකා පෞද්ගලික සමාගමට (EGL) ඇස්තමේන්තුගත සෘජු මූල්‍ය පාඩුව රුපියල් බිලියන 5.68ක් බව අනාවරණ වී තිබෙනවා.

මෙම පාඩුව ගණනය කර ඇත්තේ මෙම වසරේ මාර්තු 1 සිට ජුනි 30 දක්වා ලබාගත් මෙහෙයුම් දත්ත පදනම් කරගනිමින්.

විදුලිබල මණ්ඩලයේ අනුප්‍රාප්තික සමාගම වන EGL විසින් පාර්ලිමේන්තුවේ යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත ලබාදුන් වාර්තාවක මේ බව සඳහන්.

සාමාන්‍ය මෙහෙයුම් තත්ත්වයන් යටතේ ඓතිහාසික සාමාන්‍ය ගල් අඟුරු පරිභෝජන අනුපාතයට සාපේක්ෂව බාල තත්ත්වයේ ගල් අඟුරු හේතුවෙන් වැඩි ගල් අඟුරු ප්‍රමාණයක් භාවිත කිරීමට සිදුවීමෙන් සිදුවූ මූල්‍ය පාඩුව පමණක් මෙම ඇස්තමේන්තුවට ඇතුළත් කර ඇති බව එම වාර්තාවේ දැක්වෙනවා.

එමෙන්ම, මෙම බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය හේතුවෙන් ඇති වූ විදුලි බල හිඟය වෙනත් විදුලි උත්පාදන මාර්ග ඔස්සේ සපුරාලීමට දැරූ වියදම මෙම ගණනයට ඇතුළත් කර නොමැති බවද සඳහන්.

මේ අතර, 2026 ජුනි 30 දක්වා බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතය හේතුවෙන් බලාගාරයේ යන්ත්‍රෝපකරණ සහ උපකරණවලට සිදුවූ අසාමාන්‍ය හානිය හා ක්ෂයවීම සම්බන්ධයෙන්ද වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අධීක්ෂණ කාරක සභාව EGL වෙත දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, මේ වන විට එවැනි අසාමාන්‍ය හානියක් හෝ ක්ෂයවීමක් සිදුව ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් ඒ සඳහා වන වටිනාකමක් මෙතෙක් ඇස්තමේන්තු කර නොමැති බව EGL පවසා තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම මාස හතරක කාලය තුළ සාමාන්‍ය නඩත්තු කටයුතු සඳහා රුපියල් මිලියන 1.33ක පමණ මුදලක් වැය වී ඇති අතර, එය බාල තත්ත්වයේ ගල් අඟුරු භාවිතයට සම්බන්ධ විය හැකි බවද සඳහන්.

ගල් අඟුරු මෝල් නඩත්තුව, අමු ගල් අඟුරු සහ ඇඹරීමට අපහසු ඛනිජ අපද්‍රව්‍ය ඉවත් කිරීම මෙන්ම ගල් අඟුරු අවහිරතා පිරිසිදු කිරීම වැනි කටයුතු ඒ අතර වනවා.

මේ අතර, ට්‍රයිඩන්ට් කෙම්ෆාර් සමාගමට ලංකා කෝල් සමාගම විසින් ගෙවා ඇති මුදල කොපමණද යන්න වාර්තාවේ සඳහන් කර නොමැති අතර, සැපයුම්කරුගේ කාර්යසාධන ඇපකරය ලෙස ලබාදී තිබූ ඇමෙරිකානු ඩොලර් මිලියන 14.75ක් හෙවත් රුපියල් බිලියන 4කට ආසන්න මුදලක් රාජසන්තක කර ඇති බව EGL දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, කොන්ත්‍රාත් කොන්දේසි යටතේ තවදුරටත් ගැළපීම් සිදුකිරීමට යටත්ව, මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 51,271,390.14ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් 16,977,767,155.43ක මුදලක් අයකරගෙන ඇති බවද EGL වාර්තාවේ සඳහන්.

මෙම රුපියල් වටිනාකම ගණනය කර ඇත්තේ 2026 අගෝස්තු 3 වනදා ශ්‍රී ලංකා මහ බැංකුවේ ඩොලර් මිලදී ගැනීමේ අනුපාතය අනුවයි.

2025-26 ගල් අඟුරු ටෙන්ඩරයේ කොන්දේසි අනුව, ගල් අඟුරු නැව්ගත කිරීමෙන් පසු සැපයුම්කරුට සියයට 80ක මුදලක් ගෙවීමටත්, ඉතිරි සියයට 20ක මුදල ගල් අඟුරු පුත්තලමට ගොඩබෑමෙන් අනතුරුව අවසන් ප්‍රමාණය සහ තත්ත්වය තහවුරු කිරීමෙන් පසු ගෙවීමටත් නියමිතව තිබූ බවද වාර්තා වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk