2026-11-05 11:25:00 Hours

නාවික හමුදා භාරයට ගත් ධීවර යාත්‍රාවේ සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම මෙන්න


...

නාවික හමුදාව සහ බුද්ධි අංශ එක්ව සිදුකළ විශේෂ මෙහෙයුමකදී දකුණු ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝග්‍රෑම් 150කට අධික මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

අදාළ ධීවර යාත්‍රාව අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙන ඒමෙන් අනතුරුව, එහි තිබූ උර 10ක අසුරා තිබූ මත්ද්‍රව්‍ය පරීක්ෂාවට ලක්කර ඇත.

එහිදී කිලෝග්‍රෑම් 100කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ කිලෝග්‍රෑම් 50කට අධික හෙරොයින් ප්‍රමාණයක් සොයාගත් බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළා.

එම මත්ද්‍රව්‍ය තොගයේ වීථි වටිනාකම රුපියල් බිලියන 3කට අධික බවත්, මේ වනවිට නාවික හමුදාව විසින් මත්ද්‍රව්‍ය තොගය ගණනය කිරීමේ කටයුතු සිදුකරන බවත් ඔහු පැවසුවා.

විශේෂ නාවික මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය බවට සැකකෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම දේශීය බහුදින ධීවර යාත්‍රාව ඊයේ (04) ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

එහිදී ධීවරයින් පස්දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබූ අතර, ඔවුන් ද අද උදෑසන ධීවර යාත්‍රාව සමඟ දික්ඕවිට ධීවර වරාය වෙත රැගෙනවිත් තිබෙනවා.

දික්ඕවිට ධීවර වරායේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා රජයක් ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ජාවාරම්කරුවන්ගේ ක්‍රියාකාරකම් මේ වනවිට හඳුනාගෙන ඇති බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම පොලීසියට සහ ත්‍රිවිධ හමුදාවට පවරා ඇති බවත් ඔහු සඳහන් කළා.

2025 වසරේදී නාවික හමුදාව පමණක් රුපියල් බිලියන 75ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකර ඇති බවත්, 'රටම එකට' වැඩසටහන යටතේ රුපියල් බිලියන 109කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බවත් අරුණ ජයසේකර මහතා පැවසුවා.

එමෙන්ම 2026 වසරේ මේ දක්වා කාලය තුළ පමණක් නාවික හමුදා මෙහෙයුම් මඟින් රුපියල් බිලියන 69ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොග අත්අඩංගුවට ගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

මත්ද්‍රව්‍ය වැටලීම්වලදී පුද්ගලයින් 314,200 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර ප්‍රබල ජාවාරම්කරුවන් 1,050 දෙනෙකු සිටින බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තවද, නාවික හමුදාව මත්ද්‍රව්‍ය සහිත යාත්‍රා 63ක් සිය භාරයට ගෙන ඇති අතර, ඒ අතර බහුදින ධීවර යාත්‍රා 11ක් ද වන බව ඔහු සඳහන් කළා. එම මෙහෙයුම්වලදී පුද්ගලයින් 353 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩාල කිරීම රජයේ මූලික අරමුණ බව අවධාරණය කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, ජාවාරම්කරුවන්ට නීතියෙන් ගැලවීමට කිසිදු ඉඩක් නොමැති බව ද කියා සිටියා.

මේ අතර, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් තොරතුරු වෙතොත් 1818 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ ඒවා ලබාදෙන ලෙස ද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk