2026-11-05 11:46:00 Hours
මෙරට පවතින ගෑස් හිඟය හේතුවෙන් කොළඹ නගරයේ පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ රැසක ගෑස් සැපයුමට බාධා එල්ල වී ඇති බව වාර්තා වනවා.
මෙම මහල් නිවාස සංකීර්ණවල පදිංචිකරුවන්ට නළ මාර්ග පද්ධති ඔස්සේ ගෑස් සැපයෙන අතර, පවතින හිඟය හමුවේ එම සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම අභියෝගයක් වී තිබෙනවා.
විශේෂයෙන්ම ගාලුමුවදොර පිටිය ආසන්නයේ පිහිටි ප්‍රධාන පෙළේ සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක පදිංචිකරුවන්ට අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් ගෑස් භාවිත කරන ලෙස එහි කළමනාකාරීත්වය කෙටි පණිවුඩයක් මඟින් දැනුම් දී ඇති බව සඳහන්.
එම මහල් නිවාස සංකීර්ණයේ දැනට ඉතිරිව ඇති අවසන් ගෑස් තොගය භාවිත කරමින් සිටින බැවින්, හැකි සෑම අවස්ථාවකදීම විදුලි උපකරණ භාවිත කරන ලෙස ද පදිංචිකරුවන්ට උපදෙස් දී තිබෙනවා.
විදෙස් තානාපතිවරුන් සහ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිසක් ද එහි පදිංචිව සිටින බව වාර්තා වනවා.
මේ අතර, නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි තවත් මහල් නිවාස සංකීර්ණයක නොවැම්බර් මාසයට පමණක් ප්‍රමාණවත් ගෑස් තොග පවතින බවත්, දෙසැම්බර් මාසය සඳහා අවශ්‍ය ගෑස් තොග නොමැතිවීම හේතුවෙන් එහි කළමනාකාරීත්වය ද ගැටලුවකට මුහුණ දී ඇති බවත් වාර්තා වනවා.
එමෙන්ම ඇතැම් මහල් නිවාස සංකීර්ණ වෙත නිවෙස්වලටම ගෑස් සිලින්ඩර බෙදාහැරීමේ සේවාවන් ද අත්හිටුවා ඇති බව පදිංචිකරුවන් පවසනවා.
මෙම තත්ත්වය හමුවේ දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව ද ඊයේ (04) ගෑස් හිඟය හේතුවෙන් දැඩි අපහසුතාවට පත්ව සිටියා.
මේ අතර, ගෑස් සැපයුම යථා තත්ත්වයට පත් කිරීම සඳහා නොවැම්බර් මාසය තුළ ගෑස් රැගත් නෞකා තුනක් මෙරටට ගෙන්වීමට සැලසුම් කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව නොවැම්බර් 12 සිට 14 දක්වා සහ නොවැම්බර් 24 සිට 28 දක්වා කාලසීමාවලදී ගෑස් නෞකා දෙකක් හම්බන්තොට වරායට පැමිණීමට නියමිතයි.
තවත් නෞකාවක් නොවැම්බර් 15 සිට 17 දක්වා කාලය තුළ කොළඹ වරායට පැමිණීමට සැලසුම් කර ඇති බවයි සමාගම සඳහන් කරන්නේ.
හම්බන්තොට ගෑස් පර්යන්තය හරහා දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා අවශ්‍ය අනුමැතීන් ලබාගැනීමට බලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ද ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.
ඒ සඳහා හම්බන්තොට පර්යන්තය දේශීය ගෑස් සැපයුම වෙනුවෙන් භාවිත කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කර තිබෙනවා.
මීට අමතරව, 2027 ජනවාරි මාසයේ සිට කොළඹ වරාය වෙත ඍජුව ගෑස් සැපයීම සඳහා නව ටෙන්ඩරයක් කැඳවා ඇති බවත්, ඉදිරියේදී ගෑස් සැපයුමේ සුරක්ෂිතතාව තහවුරු කිරීම එහි අරමුණ බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk