2026-11-04 21:35:00 Hours

ගුවන් හමුදාවට නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් සඳහා රුපියල් කෝටි 426ක්


...

2026 වසරේ අංක 8 දරන පරිපූරක ඇස්තමේන්තුව හෙට (05) අනුමැතිය සඳහා විවාදයට ගැනීමට තීරණය කර තිබෙනවා.

අද (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන ඇති බවයි පාර්ලිමේන්තුව සඳහන් කළේ.

ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් වෙනත් අරමුදලකින් රුපියල් මිලියන 4,261ක මුදලක් ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ලබාදීම සඳහා මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තිබෙනවා.

වෙනස්වන මෙහෙයුම් පරිසරය සහ බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවිය හැකි අහිතකර කාලගුණික තත්ත්වයන්ගෙන් මතුවන තර්ජන සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා නියමුවන් රහිත ගුවන්යානා පද්ධතියක් ස්ථාපිත කිරීමට එම මුදල් යෙදවීමට නියමිතයි.

මේ අතර, පෙර තීරණය කළ පරිදි භාර (සංශෝධන) පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය ද හෙට පෙරවරු 11.30 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වැනි වගන්තිය යටතේ අදාළ පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණයේදී අභියෝගයට ලක් නොවුවහොත්, සිකුරාදා (06) දිනට නියමිත පාර්ලිමේන්තු කටයුතුවල කිසිදු වෙනසක් සිදු නොවන බව ද දැනුම් දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk