2026-10-08 17:27:00 Hours

NDB වංචා ගනුදෙනුවේ අවසන් විගණන වාර්තාව එළියට


...

NDB බැංකුවේ සිදුවූ වංචා සහගත ගනුදෙනුවල මූල්‍ය බලපෑම රුපියල් බිලියන 13.6ක් දක්වා ඉහළ ගොස් ඇති බව අවසන් විගණන වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා වී ඇති අතර, කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම රැස්වීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන්ද කැඳවා තිබුණා.

2016 අප්‍රේල් 1 වැනිදා සිට 2026 මාර්තු 31 වැනිදා දක්වා කාලය ආවරණය කරමින් සිදුකළ විගණනයේදී හඳුනාගෙන ඇති වංචා ගනුදෙනුවල මුළු වටිනාකම රුපියල් 13,639,664,684ක් බවයි සඳහන් වන්නේ.

NDB බැංකුව විසින් 2026 අප්‍රේල් 6 වැනිදා මුලින් අනාවරණය කළ රුපියල් බිලියන 13.2ක මුදලට සාපේක්ෂව අවසන් වාර්තාවේදී එම අගය රුපියල් මිලියන 400කින් පමණ ඉහළ ගොස් තිබෙනවා.

එම වංචා ගනුදෙනුවලින් රුපියල් බිලියන 1.5ක් 2025 ජනවාරි 1 වැනිදාට පෙර සිදුව ඇති අතර, 2025 වසරේදී රුපියල් බිලියන 9.6ක් සහ 2026 පළමු කාර්තුවේදී රුපියල් බිලියන 2.5ක් සිදුව ඇති බවද අනාවරණ වී ඇත.

කෙසේ වෙතත්, මෙම වංචාවට ගනුදෙනුකරුවන්ගේ කිසිදු ගිණුමක් බලපෑමට ලක්ව නොමැති බව අවසන් විගණන වාර්තාව මගින් තහවුරු කර තිබෙනවා.

එමෙන්ම CEFT ගනුදෙනු ක්‍රියාවලිය, බැංකුවේ ප්‍රධාන පද්ධතියේ පරිශීලක ක්‍රියාකාරකම්, පරිශීලක මුරපද හා ප්‍රවේශ තොරතුරු කළමනාකරණය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක පාලන දුර්වලතා හඳුනාගෙන බව වාර්තා වනවා.

ගනුදෙනු අධීක්ෂණය, දෛනික ගිණුම් සැසඳීම, මූල්‍ය අනුකූලතාව, අභ්‍යන්තර විගණනය, ශාඛා ජාල කළමනාකරණය සහ මෙහෙයුම් අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන්ද දුර්වලතා පවතින බව වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

මේ අතර, බැංකුවේ මූල්‍ය ප්‍රකාශනවල සිදුවූ අක්‍රමිකතා බාහිර විගණකවරුන් විසින් හඳුනා නොගැනීම සම්බන්ධයෙන්ද කාරක සභාවේදී අවධානය යොමු කර ඇත.

එමෙන්ම ආයතනික පාලනය සහ අවදානම් කළමනාකරණය සම්බන්ධයෙන් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගකීම පිළිබඳවද සාකච්ඡා වී ඇති බව සඳහන්.

මෙහිදී NDB බැංකුවේ කොටස්වල සැලකිය යුතු ප්‍රමාණයක් රාජ්‍ය හා මහජන මුදල් නියෝජනය කරන ආයතන සතුව පැවතීම හේතුවෙන් මහජන මුදල් කෙරෙහි ඇති විය හැකි බලපෑම පිළිබඳවද මන්ත්‍රීවරුන් අවධානය යොමු කර තිබෙනවා.

අදාළ වංචා වැළැක්වීම සඳහා NDB බැංකුවේ අභ්‍යන්තර පාලන පද්ධති, ආයතනික පාලන ව්‍යුහය සහ මෙහෙයුම් ක්‍රමවේද ශක්තිමත් කිරීම සඳහා පුළුල් නිර්දේශද අවසන් විගණන වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk