2026-10-29 14:11:00 Hours
පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව සිදුකරන මුදල් විශුද්ධිකරණ විමර්ශනය සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බව පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද (29) කොළඹ මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස කටයුතු කරමින් අයථා ලෙස උපයාගත් බව කියන රුපියල් මිලියන 15ක මුදලක් පෞද්ගලික සමාගමක ආයෝජනය කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.
යහපාලන රජය සමයේ ආරම්භ කළ මෙම විමර්ශනය 2016 වසරේදී අවසන් කර අදාළ විමර්ශන උදෘත නීතිපතිවරයා වෙත යොමු කළ බවයි පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේ.
කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ අද නඩුව කැඳවූ අවස්ථාවේදී, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂ මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැහැ.
ඇප මත මුදාහැර සිටින සෙසු සැකකරුවන් වන සුජානි බෝගොල්ලාගම, නිත්ය සමරනායක සහ සුදර්ශන බණ්ඩාර යන අය අධිකරණය හමුවේ පෙනී සිටියා.
කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා නඩුව ලබන පෙබරවාරි 11 වැනිදා යළි කැඳවීමට නියෝග කළ අතර, එදින නීතිපති උපදෙස් සම්බන්ධයෙන් ගෙන ඇති පියවරවල ප්රගතිය දැනුම් දෙන ලෙස ද නියම කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk