2026-10-29 12:42:00 Hours

වැරදි කරන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි පියවර ගන්නවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක


...

කිසිදු පොලිස් නිලධාරියෙකු ආරක්ෂා කිරීම සඳහා පොලිසිය කටයුතු නොකරන බවත්, නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වන නිලධාරීන්ට එරෙහිව නීත්‍යනුකූලව සහ විනයානුකූලව දැඩි පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසනවා.

'රටම එකට' ජාතික මෙහෙයුමේ ප්‍රගතිය පිළිබඳව දැනුම්වත් කිරීම සඳහා අද (29) පැවති මාධ්‍ය හමුවේදී, පොලිස් භාරයේ සිටියදී සැකකරුවන් මියයාම සහ තුවාල ලැබීමේ සිදුවීම් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ හෝමාගම පොලිස් භාරයේ සිටි සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

සිද්ධියට පෙර දිනයේ, සිදුවූ දිනයේ සහ ඉන් පසු දිනයේ අදාළ සාක්ෂි සටහන් කරගෙන ඒවා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ, පොලිස් ආඥා පනතේ 125 වැනි වගන්තිය යටතේ බස්නාහිර පළාත් දකුණු කොට්ඨාසයේ විශේෂ කණ්ඩායමකට විමර්ශන පවරා තිබෙනවා.

ඒ සමඟ හෝමාගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ, අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයාගේ, වැටලීමට සහාය වූ මත්ද්‍රව්‍ය අංශයේ උප ස්ථානාධිපතිවරයාගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

එම විමර්ශනවල ප්‍රතිඵල මත එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි නීතිමය කටයුතු ක්‍රියාත්මක වනවා.

මෙවැනි සිදුවීම් වැළැක්වීම සඳහා පොලිස්පතිවරයා නිරන්තරයෙන් උපදෙස් ලබාදුන්න ද, ඇතැම් නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන් මෙවැනි තත්ත්වයන් ඇතිවන බව ද වුට්ලර් මහතා පෙන්වා දුන්නා.

මේ අතර කොබෙයිගනේ පොලිස් භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් පසු සැකකරුවෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.

ඔහු පැවසුවේ ගසක බැඳ සිටි පුද්ගලයෙකු පිළිබඳව ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ස්ථානයට ගොස් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත්, පසුව අසනීප තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේදී ඔහු මියගොස් ඇති බවත්ය.

එම අවස්ථාවේදී සිවිල් පුද්ගලයන් කිහිපදෙනෙකු සැකකරුට පහරදී ඇති බවට ලැබුණු තොරතුරු මත පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කොට්ඨාස භාර නිලධාරියාගේ සහ මහව සහකාර පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණය යටතේ විශේෂ විමර්ශනයක් ද ආරම්භ කර ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ත්‍රිකුණාමලය පොලිස් භාරයේ සිටි සැකකරුවන් තිදෙනෙකුට කැපුම් තුවාල සිදුවීම සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබෙනවා.

ඒ පිළිබඳව කොට්ඨාස භාර නිලධාරියාගෙන් වාර්තාවක් කැඳවා ඇති බවත්, එය ලැබුණු පසු අදාළ තොරතුරු දැනුම් දෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk