2026-10-28 18:40:00 Hours
හෝමාගම පොලිස් අත්අඩංගුවේ සිටියදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී, සැකකරුවන් සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ නිකුත් කර ඇති මාර්ගෝපදේශ අදාළ පොලිස් නිලධාරීන් අනුගමනය කර නොමැති බව අනාවරණය වී ඇතැයි ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ, හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයකු පොලිස් පහරදීමකින් මියගිය බවට පළ වූ වාර්තා සැලකිල්ලට ගනිමින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවයි.
ඒ අනුව කොමිසමේ නිලධාරීන් හෝමාගම පොලිස් ස්ථානයට ගොස් තොරතුරු ලබාගෙන ඇති අතර, මියගිය පුද්ගලයාගේ ඥාතීන්ගේ නිවෙස් වෙත ගොස් ඔවුන්ගෙන් ද ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
2020 ජනවාරි මාසයේ සිට 2025 මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති අතර, පොලිසිය සමඟ ඇති වූ ගැටුම් හේතුවෙන් තවත් පුද්ගලයින් 30 දෙනෙකු මියගොස් ඇති බව ද මානව හිමිකම් කොමිසම පෙන්වා දෙනවා.
මෙවැනි සිදුවීම් සැලකිල්ලට ගනිමින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් ක්රියා කළ යුතු ආකාරය දැක්වෙන මාර්ගෝපදේශ සකස් කර, පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව චක්රලේඛයක් මගින් සියලු පොලිස් ස්ථාන වෙත ඒවා යොමු කර තිබෙනවා.
එහෙත් හෝමාගම සිද්ධියේදී අදාළ මාර්ගෝපදේශ අනුගමනය කර නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි කොමිසම සඳහන් කරන්නේ.
පොලිස් අත්අඩංගුවේදී පුද්ගලයින් මියයෑමේ සිදුවීම් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කරන මානව හිමිකම් කොමිසම, සිද්ධියට අදාළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්ට හෙට (29) පස්වරු 1.30ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ද දැනුම් දී තිබෙනවා.
මීට අමතරව මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ වෛද්යවරයාගේ වාර්තාව ද කැඳවීමට කොමිසම තීරණය කර ඇති බව සඳහන්.
මේ අතර මියගිය පුද්ගලයාගේ දේහය ඊයේ (27) රාත්රියේ කිරිවත්තුඩුව, මූණමලේවත්ත ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවසට රැගෙනවිත් තිබූ අතර, අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතයි.
මේ අතර හෝමාගම පොලිස් සිරමැදිරිය තුළදී තරුණයකු මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා.
හෙට (29) දිනයේදී මෙම කැඳවීම සිදුකර ඇති බව එහි කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව මියගිය තරුණයාගේ පවුලේ ඥාතීන් කිහිපදෙනෙකුගෙන් ද ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
මේ අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන විමර්ශනයට අදාළව සිද්ධිය වූ දිනයේ හෝමාගම පොලිසියේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් සිව්දෙනෙකුගෙන් ප්රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වනවා.
මීට පෙර මෙම සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා, දූෂණ මර්දන වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය අත්හිටුවීමට ද පියවර ගෙන තිබුණා.
එමෙන්ම, මියගිය තරුණයාගේ නැගණියගෙන් ද බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය ප්රකාශ සටහන් කරගෙන තිබෙනවා.
තරුණයා සමඟ අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තවත් සැකකරුවෙකුගෙන් ප්රකාශයක් ලබාගැනීම සඳහා අධිකරණ නියෝග ලබාගැනීමට නියමිත බව ද පොලිසිය සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk