2026-11-04 09:31:00 Hours

කෝටි 10ක මුදලක් පෞද්ගලික නාලිකාවකට ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්


...

සංචාරක ප්‍රවර්ධනයේ අරමුණින් බව පවසමින් රුපියල් කෝටි 10ක මුදලක් මෙරට පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරකත්වය දැරූ සමුළුවක් සඳහා ලබාදීම සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් ඊයේ (03) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ 63 වැනි මහා සමුළුව පසුගිය ඉරිදා කොළඹදී පැවැත්වුණු අතර, ඊට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද සහභාගී වුණා.

එම සමුළුව පැවැත්වීම මෙන්ම ඊට අදාළ රැස්වීම්, සංගීත උලෙළ සහ විනෝද චාරිකා වැඩසටහන් සඳහා සත්කාරකත්වය දැරීමට රුපියල් කෝටි 10ක මුදලක් පෞද්ගලික රූපවාහිනී නාලිකාවට ලබාදී ඇති බවට මේ වන විට සමාජයේ දැඩි කතාබහක් මතුව තිබෙනවා.

මේ අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (03) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සඳහන් කළේ, අදාළ නාලිකාවට ලබාදීමට වෙන් කර ඇත්තේ රජයේ බදු මුදල් නොව සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් බවයි.

කෙසේ වෙතත්, එලෙස පෞද්ගලික නාලිකාවකට මුදල් ලබාදීමේ පදනම කුමක්දැයි ප්‍රශ්න කරමින් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk