2026-11-03 20:59:00 Hours

නොවැම්බරයේදී ලාෆ්ස් ගෑස් නැව් 03ක් දිවයිනට


...

2026 නොවැම්බර් මාසය තුළ ශ්‍රී ලංකාවට LPG ගෑස් නැව්ගත කිරීම් තුනක් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා.

ඒ අනුව නොවැම්බර් මාසයේදී ගෑස් නැව්ගත කිරීම් ළඟාවීමට අපේක්ෂිත කාලසටහන මෙසේයි.

- නොවැම්බර් 12 - 14: OQT සැපයුම්කරු - හම්බන්තොට වරාය - නොවැම්බර් 15 - 17: Geogas සැපයුම්කරු - කොළඹ වරාය - නොවැම්බර් 24 - 28: OQT සැපයුම්කරු - හම්බන්තොට වරාය

මේ අතර, හම්බන්තොට පිහිටි සිය LPG පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීමට අවශ්‍ය අනුමැතීන් ලබාගැනීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ සාකච්ඡා පවත්වන බව ද සමාගම සඳහන් කරනවා.

මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ප්‍රවාහන බාධා හේතුවෙන් ගෝලීය LPG සැපයුම් දාමයට බලපෑම් එල්ල වී ඇති බව පෙන්වා දෙන සමාගම, ශ්‍රී ලංකාවේ ගෑස් සැපයුම් සුරක්ෂිතතාව වෙනුවෙන් හම්බන්තොට මෙට්‍රික් ටොන් 30,000ක ගබඩා ධාරිතාවකින් යුත් ආනයන හා අපනයන පර්යන්තයක් ඉදිකිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 65ක ආයෝජනයක් සිදුකර ඇති බව ද පවසනවා.

කෙසේ වෙතත්, ආයෝජන මණ්ඩලයේ 'Commercial Hub' රාමුව යටතේ පවතින කොන්දේසි සහ අතීත ආර්ථික අර්බුද හේතුවෙන් ප්‍රතිඅපනයන කටයුතු පවත්වාගෙන යාමට බාධා ඇතිවීම නිසා එම පර්යන්තය දේශීය වෙළෙඳපොළට ගෑස් සැපයීම සඳහා භාවිත කිරීම සීමා වී තිබූ බව සමාගම පෙන්වා දෙනවා.

ඒ අනුව, හම්බන්තොට පර්යන්තය දේශීය සැපයුම් සඳහා භාවිත කිරීමට මාස තුනක තාවකාලික අවසරයක් ඉල්ලා ඇති අතර, දැනට පවතින 'Hub' තත්ත්වයෙන් ඉවත්ව අදාළ බදු සහ තීරුබදු ගෙවීමට යටත්ව පර්යන්තය පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් ක්‍රමවේද ද සකස් කරමින් සිටින බව සඳහන් කරනවා.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත අවශ්‍ය අනුමැතීන් සතියක් ඇතුළත ලබාදීමට පියවර ගන්නා ලෙස භාණ්ඩාගාර ලේකම්වරයාට දැනුම් දී ඇති බව ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා තහවුරු කර ඇතත්, මෙතෙක් අදාළ අවසර ලැබී නොමැති බව ද ලාෆ්ස් සමාගම පවසනවා.

මීට අමතරව, 2027 ජනවාරි මාසයේ සිට කොළඹ වරායට සෘජුව LPG ගෙන්වීම සඳහා නව ටෙන්ඩරයක් ද කැඳවා ඇති බව එම නිවේදනයේ දැක්වෙනවා.

මේ අතර, ලාෆ්ස් ගෑස් පීඑල්සී සහ ලාෆ්ස් ටර්මිනල්ස් ලිමිටඩ් යන සමාගම් අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ විදේශ වත්කම් පාලන කාර්යාලය (OFAC) විසින් සම්බාධක පනවා නම් කර ඇති ආයතන නොවන බව ද සමාගම අවධාරණය කරනවා.

දැනට පවතින ගෑස් සැපයුම් බාධා හේතුවෙන් පාරිභෝගිකයන්ට මුහුණදීමට සිදුව ඇති අපහසුතා පිළිබඳ කනගාටුව පළ කරන ලාෆ්ස් සමාගම, අවශ්‍ය නියාමන අනුමැතීන් ලැබීමෙන් පසු ගෑස් බෙදාහැරීම් ක්‍රමානුකූලව යළි ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව වැඩිදුරටත් සඳහන් කරනු ලබනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk