2026-08-11 09:08:00 Hours

මැලේසියාවේදී ඇල්ලූ රත්මලානේ සයිමා පේරාදෙණිය පොලීසියට භාරදෙයි


...

මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ සමීපතමයෙකු බව කියන රත්මලානේ සයිමා නැමැත්තෙකු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය භාරදී තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ ඊයේ (10) රාත්‍රී අදාළ සැකකරු පේරාදෙණිය පොලීසිය වෙත භාර දී ඇති බවයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රතු නිවේදන නිකුත් කර තිබූ සංවිධානාත්මක අපරාධකරුවෙකු මැලේසියාවේ දී එරට පොලීසිය සහ ජාත්‍යන්තර පොලීසියේ සහයෝගය මත පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා.

එම පුද්ගලයා සමඟ සිටි රත්මලාන ප්‍රදේශයේ පදිංචි තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් තිදෙනා ඊයේ (10) පස්වරුවේ වැඩිදුර විමර්ශන සඳහා දිවයිනට රැගෙන ආ බව පොලීසිය සඳහන් කළා.

අදාළ ප්‍රධාන සැකකරු 41 හැවිරිදි රත්මලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිසිය පැවසුවා.

ඔහුට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු දෙකක් විභාග වෙමින් පවතින අතර, ඉන් එක් නඩුවකට අදාළව 2014 වසරේදී පේරාදෙණිය පොලිස් වසමේදී ගිනිඅවි පෙන්වා පුද්ගලයෙකු පැහැරගෙන ගොස් තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.

අනෙක් නඩුව 2016 වසරේදී පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් විභාග වන බව සඳහන්.

ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මේ අතර, මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ අනෙක් සැකකරුවන් දෙදෙනා අද (11) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk