2026-08-11 10:07 Hours

හොර සමාගම් 105ක් හරහා ඩොලර් මිලියන 715ක් පිටරටට පන්නලා


...

2023 ජනවාරි මාසයේ සිට 2026 මාර්තු දක්වා කාලය තුළ ව්‍යාජ සමාගම් 105ක් හරහා ඇමෙරිකානු ඩොලර් මිලියන 715කට ආසන්න මුදලක් නීතිවිරෝධී ලෙස විදේශයන් වෙත යවා ඇති බවට අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව, 2023 ජනවාරි මාසයට පෙර සිදුව ඇති බවට සැක කෙරෙන මෙවැනි ව්‍යාජ ආනයන ලේඛන සම්බන්ධයෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන ක්‍රියාත්මක වන බව සඳහන්.

ඩුබායිහි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ බව කියන අන්තර්ජාතික මුදල් විශුද්ධිකරණ ජාලයන්ට සහාය ලබාදුන් බවට සැක කෙරෙන පුද්ගලයින් 55 දෙනෙකු, බැංකු ගිණුම් 227ක් සහ බැංකු හරහා සිදුකළ ටෙලිග්‍රැෆික් හුවමාරු 24,300කට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට CIDය විසින් හඳුනාගෙන තිබෙනවා.

වාණිජ බැංකු, ශ්‍රී ලංකා රේගුව සහ අදාළ අමාත්‍යාංශ අතර විදේශ මුදල් ප්‍රේෂණ හා සැබෑ භෞතික ආනයන පිළිබඳ තොරතුරු සංසන්දනය කිරීමේදී විශාල අඩුපාඩු පැවති බවද අනාවරණය වී ඇති බව සඳහන්.

Sunday Times පුවත්පත වාර්තා කරන්නේ, විදේශ විනිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට පටන් ගත් අවස්ථාවේ භාණ්ඩ ආනයනය සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියද, අදාළ භාණ්ඩ දිවයිනට පැමිණ නොතිබූ බවයි.

ඒ පිළිබඳ සිදුකළ සොයාබැලීම්වලදී මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව අනාවරණය වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සඳහන් කර ඇති බවද එම පුවත්පත වාර්තා කරනවා.

මීට පෙරද මෙවැනි වංචා රේගුව ඇතුළු ආයතනවලට හසුවූ අවස්ථාවලදී ඇතැම් ව්‍යාපාරිකයන් දේශපාලන බලපෑම් යොදා ගනිමින් නීතියෙන් ගැලවී ඇති බවට තොරතුරු පවතින බව සඳහන්.

කෙසේ වෙතත්, මෙවර සිදුකෙරෙන විමර්ශනවලදී නීතිවිරෝධී ලෙස මුදල් යවා ඇති බවට සැක කෙරෙන ව්‍යාජ සමාගම් සම්බන්ධයෙන්ද දැඩි පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා.

මීට අමතරව, වානේ ආශ්‍රිත ගෘහ භාණ්ඩ අලෙවි කරන සමාගමක් සම්බන්ධයෙන්ද මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ විමර්ශනයක් සිදුකෙරෙන අතර, ඊට අදාළ නඩුවක් මේ වනවිට මහාධිකරණයේ විභාග වෙමින් පවතින බව සඳහන්.

මේ අතර, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත සහ මූල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත සංශෝධනය කරමින් පාර්ලිමේන්තුව විසින් නව නීතිමය ප්‍රතිපාදනද සම්මත කර තිබෙනවා.

ඒ අනුව, අධිකරණ නියෝගයකින් තොරව දින 14ක් දක්වා සැක සහිත වත්කම් තාවකාලිකව තහනම් කිරීමට බලධාරීන්ට බලය ලබාදී ඇති බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk