2026-08-10 18:52:00 Hours

මත්ද්‍රව්‍ය අපරාධවලට මරණ දඬුවම ලබාදීමේ සුදානමක්


...

මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ලබාදීම සම්බන්ධයෙන් “රටම එකට” ජාතික මෙහෙයුම් සභාවේදී අවධානය යොමුව තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එම මෙහෙයුම් සභාව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව සාකච්ඡා කර ඇති බව සඳහන්.

විෂ මත්ද්‍රව්‍ය උවදුර මේ වනවිට පුද්ගල සබඳතාවලින් ඔබ්බට ගොස් සමස්ත ආර්ථිකයට සහ සමාජයට බරපතළ තර්ජනයක් වී ඇති බැවින්, ඊට එරෙහිව දැඩි නීති ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද එහිදී අවධානය යොමුව තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයන විශාල මුදල් හේතුවෙන් ගොඩනැගී ඇති අපරාධමය පරිසරය ජාතික ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට සහ සමාජ ආචාරධර්මවලට බරපතළ තර්ජනයක් වී ඇති බවද එහිදී පෙන්වා දී ඇත.

ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී අවධාරණය කර ඇත්තේ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම සඳහා ප්‍රායෝගික ක්‍රියාමාර්ග මෙන්ම සමාජයේ ආකල්පමය වෙනසක් ඇති කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවයි.

ඒ සඳහා ආගමික නායකයින්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය දායකත්වය රජය අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ අතර, මත්ද්‍රව්‍ය පාලනය සහ ඇප ලබාදීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන අවසන් අදියරේ පවතින බවද මෙහිදී අනාවරණ වී තිබෙනවා. එම සංශෝධන කඩිනමින් ගැසට් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මත්ද්‍රව්‍ය නඩු ප්‍රමාද වීමට බලපාන රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ කටයුතුද මේ වනවිට වේගවත් කර ඇති අතර ඒ අනුව පසුගිය ජූලි මාසය තුළ පමණක් රස පරීක්ෂක වාර්තා 6,414ක් නිකුත් කර ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ප්‍රමාණය අනුව සැකකරුවන් වර්ගීකරණය කර, රස පරීක්ෂක වාර්තා ලැබුණු වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට හැකි වන පරිදි නව ක්‍රමවේදයක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේ දී උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ සඳහා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අතර කාර්යක්ෂම සම්බන්ධීකරණයක් ඇති කිරීමටද අවධානය යොමු වී ඇති බව සඳහන්.

එමෙන්ම රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ධාරිතාව වැඩි කිරීම සහ පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන්ද ජනාධිපතිවරයා කරුණු විමසා ඇති අතර රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගැනීම සඳහා නාවික හමුදාවේ සහාය ලබාගැනීමට දැනටමත් කටයුතු කරමින් සිටින බවද එහිදී අනාවරණ වී තිබෙනවා.

මීට අමතරව, ආරක්ෂිත කැමරා පද්ධති ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk