2026-10-22 08:32 Hours

ගෝඨාභයට එරෙහි පාස්කු ප්‍රහාර විමර්ශන ප්‍රබල තත්ත්වයක තියෙනවා - නීතිපති


...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සිදුකරන විමර්ශන මේ වනවිට ප්‍රබල තත්ත්වයක පවතින බව නීතිපතිවරයා ඊයේ (21) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන නොමඟ යැවීමේ චෝදනා සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට දැනුම් දුන්නේ, සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කඩිනම් කර ඇති බවයි. එමෙන්ම, පාස්කු ප්‍රහාරයට පෙර ලබාගත් බව කියන තොරතුරු කිහිපයක් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව ඔහු සඳහන් කළා.

ප්‍රහාරයට සම්බන්ධ බවට සැක කෙරෙන සාරා ජෙස්මින් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු යුද හමුදා බුද්ධි අංශයට වාර්තා කළ පුද්ගලයෙකුගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

එමෙන්ම, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික කරුණා අම්මාන්ට ව්‍යාජ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් සකස් කර දුන් බවට එල්ල වන චෝදනා සහ සුරේෂ් සලේ මහතා සතුව ගමන් බලපත්‍ර කිහිපයක් තිබූ බවට සඳහන් කරුණු සම්බන්ධයෙන්ද වැඩිදුර විමර්ශන සිදුකිරීමට අපේක්ෂා කරන බව ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, සිය සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇත්තේ ප්‍රකාශ පමණක් බවත්, චෝදනා සනාථ කරන සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවත්ය. කරුණා අම්මාන්ට ගමන් බලපත්‍රයක් සකස් කළ බව කියන කාලයේ සිය සේවාදායකයා ප්‍රංශයේ සිටි බවද ඔහු පැවසුවා.

මේ අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීමට අවසර ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද අධිකරණයේදී කරුණු විමසුණා.

ඊට පිළිතුරු දෙමින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ, ගෝඨාභය රාජපක්ෂ මහතා තවමත් මෙම නඩුවේ සැකකරුවෙකු ලෙස නම් කර නොමැති බවයි.

අනෙකුත් සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ යුතු විමර්ශන සහ අභියාචනාධිකරණයේ පවතින නඩුවක් ඊට හේතු වී ඇති බවද ඔහු පැවසුවා.

කෙසේ වෙතත්, වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදේශගතවීමට අවශ්‍ය නම් මානුෂීය හේතු මත ඊට අවසර ලබාදිය හැකි බවද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නා.

කරුණු සලකා බැලූ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, පැමිණිල්ල ඉදිරිපත් කළ ඉල්ලීම්වලට අවසර ලබාදෙමින් විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීම සඳහා නඩුව නොවැම්බර් 25 වැනිදා යළි කැඳවීමට නියෝග කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk