2026-08-18 08:33:00 Hours
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද (18) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
අද සිට දින 5ක් අඛණ්ඩව කුඹල් පෙරහර වීථි සංචාරය කෙරෙන අතර, ලබන 23 වනදා සිට රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව තිබේ. මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර ලබන 27 වනදා රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිතයි.
පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී 6.52ට ශ්‍රී දළදා මාළිගාවෙන් ආරම්භ වී දළදා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර නැවත ශ්‍රී දළදා මාළිගාවට ගෙවැදීමට කටයුතු යොදා ඇත.
පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසිය විසින් විශේෂ ආරක්ෂක සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව භාවිත කළ හැකි විකල්ප මාර්ග කිහිපයක් පහත පරිදි වේ:
කටුගස්තොට දෙසින් පැමිණෙන බර වාහන: මහයියාව හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ පොලිස් හන්දිය හරහා මහනුවර නගරයට.
කටුගස්තොට දෙසින් පැමිණෙන සැහැල්ලු වාහන: ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ පැමිණ හරස් වීදිය හරහා යටිනුවර වීදියට පිවිස, මීරමක්කම් පල්ලිය අසලින් වමට හැරී තිලක් රත්නායක මාවත ඔස්සේ.
කටුගස්තොට දෙසට පිටවන වාහන: පොලිස් හන්දියෙන් තිලක් රත්නායක මාවත ඔස්සේ මහයියාව දෙසට.
තැන්නේකුඹුර සහ අම්පිටිය දෙසින් පැමිණෙන වාහන: සංඝරාජ මාවත ඔස්සේ වේල්ස් පාර්ක් හන්දියට පැමිණ, ඇහැලේපොළ කුමාරිහාමි මාවත ඔස්සේ බෝගම්බර සහ දුම්රිය ස්ථානය දෙසට (එමෙන්ම රජපිහිල්ල මාවත හන්දියෙන් පල්ලිය පාර ඔස්සේ ද නගරයට ඇතුළු විය හැක).
නගරයේ සිට අම්පිටිය සහ තෙල්දෙණිය දෙසට ගමන් කරන වාහන: ඔරලෝසු කණුව වටරවුමෙන් දළදා වීදිය ඔස්සේ පැමිණ, රැජින හෝටලයේ පැති දොරටුව අසලින් ජෝයි බෝට්ටු සේවය පසුකර සංඝරාජ මාවත ඔස්සේ (එසේත් නැතහොත් බෝගම්බර වටරවුමෙන් ඇහැලේපොළ කුමාරිහාමි මාවත, රජපිහිල්ල මාවත සහ වේල්ස් පාර්ක් හන්දිය හරහා සංඝරාජ මාවත ඔස්සේ).
කොළඹ-මහනුවර ගමනාගමනය: විලියම් ගොපල්ලව මාවත සහ පැරණි පේරාදෙණිය පාර දෙපසටම භාවිත කළ හැකිය.
පෙරහැර පැවැත්වෙන කාලසීමාව තුළ මහනුවර නගරයට පැමිණෙන ජනතාවගෙන් සහ රියදුරන්ගෙන් පොලීසිය ඉල්ලා සිටින්නේ මෙම විශේෂ රථවාහන සැලැස්මට අනුකූලව කටයුතු කරන ලෙසයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk