2026-08-17 19:01:00 Hours
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට චෝදනා එල්ල වී ඇති ශිරාන් බාසික් නමැත්තා දින 90ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.
පසුගිය මාර්තු මාසයේදී ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පසුව මෙරටට පිටුවහල් කෙරුණු ඔහු පසුගිය 14 වැනිදා ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා.
කටුනායක ගුවන්තොටුපළට පැමිණීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන්තොටුපළ ඒකකයේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූලික ප්‍රශ්න කිරීම්වලදී ශිරාන් බාසික් සඳහන් කර ඇත්තේ ඩුබායිහි සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිටියදී එරට පොලිසිය විසින් තමන්ව පරීක්ෂා කළ බවයි.
එම අවස්ථාවේදී ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඉරානය විසින් ඩුබායි වෙත එල්ල කළ ප්‍රහාරවල දර්ශන එහි තිබී හමුවීමෙන් පසු තමන් අත්අඩංගුවට ගත් බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ඉන් අනතුරුව මෙරටට පිටුවහල් කරන තෙක් ඩුබායි පොලිසිය තමන්ගෙන් ඉරානය සමඟ පැවති සබඳතා සම්බන්ධයෙන් දිනපතා ප්‍රශ්න කළ බවද ඔහු සඳහන් කර ඇති බව වාර්තා වනවා.
පසුව ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන් ටිකට්පතක් තමන් විසින්ම මිලදී ගන්නා ලෙස ඩුබායි බලධාරීන් දැනුම් දුන් බවත්, අනතුරුව මෙරටට පිටුවහල් කළ බවත් ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර, ඔහුට එරෙහිව පැවති මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධ නඩු කටයුත්තකින් අනතුරුව ශ්‍රී ලංකා පොලිසිය ලබාගෙන තිබූ රතු නිවේදනය ඉවත් වී තිබූ බවද සඳහන්.
කෙසේ වෙතත්, යළිත් රතු නිවේදනයක් ලබාගැනීමට පොලිසිය සූදානම් වෙමින් සිටියදී ඔහු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වනවා.
ශිරාන් බාසික් 2018 වසරේ ජුනි 2 වැනිදා නීත්‍යානුකූලව ශ්‍රී ලංකාවෙන් ඩුබායි වෙත ගොස් ඇති අතර, එහිදී අධි සුඛෝපභෝගී ජීවන රටාවක් ගත කරමින් මහා පරිමාණ ව්‍යාපාර දෙකක්ද පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
කටුනායක ගුවන්තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ මූලික ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදී ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කමල් ආරියවංශ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් සැකකරු සම්බන්ධ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk