2026-10-22 12:24:00 Hours

දැදුරු ඔය සහ කලා ඔය ආශ්‍රිතව ගංවතුර අවදානමක්


...

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරු ඔය සහ කලා ඔය ආශ්‍රිත පහත්බිම්වල ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.

ඒ අනුව දැදුරු ඔය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්පරයට ඝන අඩි 16,500ක පමණ ජල ධාරිතාවක් දැදුරු ඔයට මුදාහරින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය අනුව මෙම ජල ධාරිතාව තවදුරටත් ඉහළ දැමීමට සිදුවිය හැකි බවද දැනුම් දී තිබෙනවා.

මේ හේතුවෙන් වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගංගා නිම්නයේ පහළ ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දෙනවා.

මේ අතර, කලා ඔය ද්‍රෝණියේ ඉහළ හා මධ්‍ය ප්‍රදේශවලට ඇදහැලුණු වර්ෂාව හේතුවෙන් එම ඔයේ ජල මට්ටමද ගංවතුර මට්ටමට ආසන්න වෙමින් පවතිනවා.

රාජාංගනය ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර තත්පරයට ඝන අඩි 13,200කට අධික ජල ප්‍රමාණයක් කලා ඔයට මුදාහරින බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඒ අනුව රාජාංගනය, නොච්චියාගම, වනාතවිල්ලුව සහ කරුවලගස්වැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත්බිම්වලද ගංවතුර අවදානමක් පවතිනවා.

ජලාශවලට ලැබෙන ජල ප්‍රමාණය අනුව ජලය මුදාහැරීම තවදුරටත් වැඩිවිය හැකි බැවින් අදාළ ප්‍රදේශවල ජනතාවට මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට සහ මගීන්ටද අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk