2026-08-14 21:53:00 Hours

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ශිරාන් බාසික් දිවයිනට රැගෙන එයි


...

ඩුබායිහිදී අත්අඩංගුවට ගත් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන ශිරාන් බාසික් ඇතුළු තිදෙනෙකු අද (14) රාත්‍රියේ දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

ඔහු සමඟ තවත් පාතාල කල්ලි සාමාජිකයින් බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකුද මෙලෙස රැගෙනවිත් ඇති බව සඳහන්.

සැකකරුවන් අබුඩාබි සිට Air Arabia ගුවන් සේවයට අයත් 3L-708 දරන ගුවන් යානයෙන් අද රාත්‍රී 8.48ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

දෙහිවල, කළුබෝවිල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි ශිරාන් බාසික් ජාත්‍යන්තර පොලීසිය මගින් රතු වරෙන්තුවක් නිකුත් කර ඇති පුද්ගලයෙකු බව සඳහන්.

ඔහු 2018 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් ඇති අතර, පසුගිය මැයි 26 වැනිදා ඩුබායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉරාන-අමෙරිකා ගැටුම් අතරතුර ඉරානය විසින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල කළ ප්‍රහාර සඳහා භාවිත කළ ඩ්‍රෝන යානා සහ මිසයිලවල ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඔහුගේ ජංගම දුරකථනයේ තිබීම සම්බන්ධයෙන්ද එරට ආරක්ෂක අංශ ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව වාර්තා වනවා.

ඔහු සම්බන්ධයෙන් විමර්ශන සඳහා අමෙරිකාව විසින්ද ඔහු එරටට භාරදෙන ලෙස ඉල්ලීමක් කර තිබූ බව සඳහන්.

මේ අතර, ශිරාන් බාසික් ඩුබායිහි ධනවතෙකු ලෙස සැඟව සිට ඇති බවටද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙරටට මත්ද්‍රව්‍ය සැපයීමේ ප්‍රධාන ජාවාරම්කරුවන් පස්දෙනා අතර සිටින පුද්ගලයෙකු ලෙසද ශිරාන් බාසික් සැලකෙන බව වාර්තා වනවා.

කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත අතර අනතුරුව දැඩි ආරක්ෂක විධිවිධාන මධ්‍යයේ වැඩිදුර විමර්ශන සඳහා ඔවුන් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත රැගෙන යාමට නියමිත බව සඳහන්.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk