2026-08-14 15:15:00 Hours
යෝජිත 22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය හරහා අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස වෙනස් කිරීමට ජනාධිපතිවරයා දරන උත්සාහය අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම තහවුරු කිරීමේ ක්රියාවලියක් බව ‘දිනන දකුණ සාමූහිකය’ පවසනවා.
අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කිසිදු අවදානමක් ගැනීමකට ඉඩ නොදිය යුතු බවද එම සංවිධානය අවධාරණය කරනවා.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්රී ලංකා නීතිඥ සංගමය අතර පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පළ කළ අදහස් සම්බන්ධයෙන් අද (14) නිකුත් කළ මාධ්ය නිවේදනයක් මගින් ‘දිනන දකුණ’ සිය ප්රතිචාරය දක්වා තිබෙනවා.
22 වැනි ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනය ගෙන ඒම සහ අධිකරණයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ තර්කවල ප්රමාණවත් ගැඹුරක් නොමැති බවද ඔවුන් පෙන්වා දෙනවා.
එම සාකච්ඡාවේදී පළ වූ අදහස් ඒකපාර්ශ්විකව සමාජයට ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයාගේ තවත් අත්තනෝමතික ක්රියාවක් බවටද එම සංවිධානය චෝදනා කරනවා.
ජනතා පරමාධිපත්යයේ කොටසක් වන අධිකරණයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් කිසිදු අවදානමක් ගැනීමට නොහැකි බව ‘දිනන දකුණ’ අවධාරණය කරනවා.
විධායකයට සමාජ හා ආර්ථික සංවර්ධන ව්යාපෘති සම්බන්ධයෙන් දේශපාලන අවදානම් ගැනීමට හැකි වුවද, අධිකරණයේ ස්වාධීනත්වය පරදුවට තබා විනිසුරුවරුන්ගේ ධුර කාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්රම ව්යවස්ථාමය රාමුවම අනතුරට පත් කිරීමක් බවද ඔවුන් පවසනවා.
22 වැනි සංශෝධනය මගින් අධිකරණය කෙරෙහි විධායකයේ බලපෑම යථාර්ථයක් බවට පත් කිරීමේ අවදානමක් පවතින බවද ‘දිනන දකුණ සාමූහිකය’ සඳහන් කරනවා.
මේ අතර, අධිකරණ පුරප්පාඩු පිරවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිදුකරන ප්රකාශ පරස්පර විරෝධී බවද ඔවුන් පෙන්වා දෙනවා.
විනිසුරුවරුන්ගේ උසස්වීම් අත්තනෝමතික ලෙස ප්රමාද කිරීම හෝ අත්හිටුවීම ඔවුන්ගේ සාධාරණ නෛතික අපේක්ෂාවන්ට ගරු කිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවද එම නිවේදනයේ සඳහන් වනවා.
මහාධිකරණයේ විභාග වන පාස්කු ප්රහාරයට අදාළ නඩු වැනි නීතිමය කටයුතු පදනම් කරගෙන උසස්වීම් අත්හිටුවීමෙන් විනිසුරුවරුන්ගේ උසස්වීම් සඳහා අත්තනෝමතික නිර්ණායක හඳුන්වාදීමට ජනාධිපතිවරයා කටයුතු කරන බව පෙනී යන බවද ‘දිනන දකුණ’ පවසනවා.
විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම සහ නඩු ප්රමාදය අවම කිරීම අතර තාර්කික සම්බන්ධයක් පෙන්වා දීමට ජනාධිපතිවරයාට හැකි වී නොමැති බවද ඔවුන් සඳහන් කරනවා.
එමෙන්ම, 22 වැනි සංශෝධනය මහජන යහපත වෙනුවෙන් ගන්නා ලද අවදානමක් ලෙස හඳුන්වන අවස්ථාවේදී එහි පවතින දේශපාලන යථාර්ථය ජනතාව අවබෝධ කරගත යුතු බවද ‘දිනන දකුණ සාමූහිකය’ සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk