2026-08-14 16:15:00 Hours

පොලිසියට පදුරු අස්සේ හැංගිමුත්තන් තහනම්


...

රථවාහන වරදක් සම්බන්ධයෙන් රියැදුරෙකුගේ වාහනයක් නතර කිරීමේදී වෙනත් මාර්ග භාවිත කරන්නන්ට පැහැදිලිව පෙනෙන ස්ථානයකදී විවෘතව සහ වෘත්තීයමය ආකාරයෙන් එය සිදුකළ යුතු බව රථවාහන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.පී.ජේ. සෙනාධීර මහතා පවසනවා.

ඔහු අවධාරණය කරන්නේ පොලිස් නිලධාරීන් හුදකලා ස්ථානවල හෝ පඳුරු පිටුපස සැඟවී රියැදුරන්ගේ වාහන නතර නොකළ යුතු බවයි.

රථවාහන රාජකාරි සිදුකළ යුතු ආකාරය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තු චක්‍රලේඛ සහ මාර්ගෝපදේශ පැහැදිලිව නිකුත් කර ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දෙනවා.

ඒ අනුව, අත්තනෝමතික ලෙස වාහන නතර කිරීමෙන් හෝ රථවාහන මෙහෙයුම් සිදුකිරීමෙන් වළකින ලෙසද ඔහු රථවාහන නිලධාරීන්ට දැනුම්දී තිබෙනවා.

වාහනයක් නතර කිරීමට අවශ්‍ය නම් බස් නැවතුමක් වැනි ජනතාවට පැහැදිලිව පෙනෙන සුදුසු ස්ථානයකදී එය සිදුකළ යුතු බවද ඔහු සඳහන් කරනවා.

අවශ්‍ය අවස්ථාවකදී වාහනයක් පසුපස හඹා ගොස් නතර කළ හැකි නමුත්, පොලිස් නිලධාරියාගේ අනන්‍යතාව සහ වාහනය නතර කිරීමට හේතුව පැහැදිලිව පෙන්විය යුතු බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.

මේ අතර, රියැදුරන් පොලිස් නිලධාරීන්ට සෘජුව මුදල් ගෙවීම අවශ්‍ය නොවන බවද ඔහු අවධාරණය කරනවා.

තාවකාලික රියදුරු බලපත්‍රයක් නිකුත් කළ අවස්ථාවකදී අදාළ දඩ මුදල් නීත්‍යානුකූලව අනුමත කර ඇති ක්‍රමවේද ඔස්සේ, තැපැල් කාර්යාල හරහා ඇතුළු නියමිත ආකාරයට ගෙවිය යුතු බවද සඳහන්.

අනුමත ක්‍රමවේදයෙන් බැහැරව මාර්ගයේදී පොලිස් නිලධාරීන්ට මුදල් ලබාදීම අල්ලස් ලබාදීමක් හෝ වෙනත් වරදක් ලෙස සැලකිය හැකි අතර, එවැනි ක්‍රියාවල නිරත වන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි බවද ඔහු අනතුරු අඟවනවා.

කිසිදු අවස්ථාවක පොලිස් නිලධාරීන්ට මුදල් ලබා නොදෙන ලෙසත්, කිසිදු පොලිස් නිලධාරියෙකුට අල්ලස් ඉල්ලා සිටීමට හෝ ලබාගැනීමට අයිතියක් නොමැති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරනවා.

දඹුල්ල අධිවේගී මාර්ග ඒකකයට සම්බන්ධ බව කියන පොලිස් නිලධාරියෙකු අල්ලස් ලබාගන්නා ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීමෙන් අනතුරුව ඔහු මෙම අදහස් පළ කර තිබෙනවා.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ විමර්ශන සිදුකරන බවද සෙනාධීර මහතා සඳහන් කරනවා.

විමර්ශන අවසන් වනතුරු අදාළ නිලධාරියා රථවාහන රාජකාරිවලින් ඉවත් කර වෙනත් පොලිස් ස්ථානයකට මාරුකර ඇති අතර, අල්ලස් පනත ඇතුළු අදාළ නීති යටතේ විනය සහ නීතිමය ක්‍රියාමාර්ගද ගනිමින් සිටින බවයි ඔහු පවසන්නේ.

අල්ලස් හා දූෂණ සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුව කිසිදු ඉවසීමකින් තොර ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අවධාරණය කරනවා.

එවැනි ක්‍රියාවල නිරත වන නිලධාරීන්ට එරෙහිව දැඩි දෙපාර්තමේන්තුමය, නීතිමය සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු සඳහන් කරනවා.

නිලධාරීන් කිහිපදෙනෙකුගේ එවැනි හැසිරීම් හේතුවෙන් අවංකව සහ කැපවීමෙන් රාජකාරි ඉටුකරන බහුතර රථවාහන පොලිස් නිලධාරීන්ගේ සේවයට අගතියක් සිදු නොවිය යුතු බවද සෙනාධීර මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk