2026-11-06 20:26:00 Hours

බන්ධනාගාර තදබදය සොයා මන්ත්‍රීවරුන් පිරිසක් නිරීක්ෂණ චාරිකාවක


...

බන්ධනාගාරවල පවතින අධික රැඳවියන්ගේ තදබදය අවම කිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (06) බන්ධනාගාර කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, නව මැගසින් බන්ධනාගාරය, කාන්තා බන්ධනාගාරය, වැලිකඩ බන්ධනාගාරය සහ බන්ධනාගාර රෝහල නිරීක්ෂණයට ලක්කර තිබෙනවා.

එහිදී බන්ධනාගාරවල පවතින තදබදය, මුළුතැන්ගෙයි කටයුතු, රෝහල් පහසුකම්, ගොඩනැගිලිවල තත්ත්වය සහ අපජලය බැහැර කිරීමේ කාණු පද්ධති පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බව සඳහන්.

මීට අමතරව බන්ධනාගාර නිලධාරීන්ට පවතින පහසුකම් සහ ඔවුන් මුහුණ දෙන ගැටලු පිළිබඳව ද මෙහිදී කරුණු විමසා තිබෙනවා.

කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික මහතා ඇතුළු මන්ත්‍රීවරුන් වන මුජිබුර් රහුමාන්, නීතිඥ තුෂාරි ජයසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඩී. සූරියබණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

එමෙන්ම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් (වැඩ ආවරණ) ආර්. ප්‍රසාද් හේමන්ත කුමාර මහතා ඇතුළු බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඊට සහභාගී වී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk