2026-11-05 21:52:00 Hours
ජෝර්දානයේ අම්මාන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට අද (05) සිදුවූ තියුණු ආයුධයකින් පහරදීමේ සිද්ධියෙන් තානාපති කාර්යාලයේ සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් සහ එරට සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව සුරක්ෂිතව සිටින බව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තහවුරු කරනවා.
ජෝර්දාන මහජන ආරක්ෂක අධ්යක්ෂ මණ්ඩලය සඳහන් කර ඇත්තේ අද දහවල් 12.20ට පමණ තානාපති කාර්යාලය ඉදිරිපිටදී තියුණු ආයුධයක් යොදාගෙන මෙම ප්‍රහාරය එල්ල වී ඇති බවයි.
එම ප්‍රහාරයෙන් රාජකාරියේ නිරතව සිටි ජෝර්දාන ආරක්ෂක අංශ සාමාජිකයෙකු වන කෝප්රල් ජවාඩ් අලි කලෆ් අල් සලයිටා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
සිද්ධිය සැලවීමත් සමඟ එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායම සැකකරු මැඩපවත්වා අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී පොලිස් මුර සංචාරයේ ප්‍රධානියාගේ මුහුණට ද තුවාල සිදුව තිබෙනවා.
ඔහු රෝහල්ගත කර ඇති අතර, මේ වනවිට ස්ථාවර සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
මූලික විමර්ශනවලදී සැකකරු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව, ජෝර්දාන බලධාරීන් මෙම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, වැඩිදුර විමර්ශන ද ක්‍රියාත්මකයි.
ප්‍රහාරයෙන් මියගිය කෝප්‍රල්වරයාගේ පවුලේ සාමාජිකයන්ට සහ සහෝදර නිලධාරීන්ට සිය ශෝකය පළ කරන බව ද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරනවා.
තානාපති විශ්වනාත් අපොන්සු මහතා ඇතුළු කාර්ය මණ්ඩලය ජෝර්දාන බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් එරට ආරක්ෂක තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ද තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk