2026-09-23 09:49:00 Hours

සමාගම් 6ක වත්කම් අත්හිටුවීමට මහ බැංකුවෙන් නියෝග


...

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සමාගම් 6ක් සහ ඒවායේ අධ්‍යක්ෂවරුන්ට අදාළ වත්කම් බැහැර කිරීම, පැවරීම හෝ වෙනත් ආකාරයකින් ගනුදෙනු කිරීම වළක්වමින් අත්හිටුවීමේ නියෝග නිකුත් කර තිබෙනවා.

මහ බැංකුව පසුගිය 22 වැනිදා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 44 වැනි වගන්තිය යටතේ මෙම නියෝග නිකුත් කර ඇති බවයි.

ඒ අනුව Kasagala Green Plantation (Private) Limited, Ceylon Green Life Plantation (Private) Limited, Singhe Capital Investment Limited, Pro Shop Advertising Holdings (Private) Limited, Athens International Education Centre (Private) Limited සහ Eyon Lanka Investment & Film Production International Company (Private) Limited යන සමාගම්වල වත්කම් අදාළ නියෝගයට යටත්.

මෙම නියෝග කොළඹ මහාධිකරණය මගින් තහවුරු කර දීර්ඝ කර ඇති බවද මහ බැංකුව සඳහන් කරනවා.

Kasagala Green Plantation සහ Ceylon Green Life Plantation යන සමාගම් සම්බන්ධයෙන් මුදල් ව්‍යාපාර පනතේ 42 වැනි වගන්තිය යටතේ විමර්ශන සිදුකෙරෙමින් පවතිනවා.

අනෙක් සමාගම් හතර නීත්‍යානුකූල අවසරයකින් තොරව මුදල් ව්‍යාපාර පවත්වාගෙන ගොස් ඇති බව හෝ තැන්පතු භාරගෙන ඇති බවට මහ බැංකුව විසින් තීරණය කර ඇති බව සඳහන්.

මේ අතර, නීත්‍යානුකූලව අවසර ලබා ඇති ආයතනවල පමණක් මුදල් තැන්පත් කරන ලෙස මහ බැංකුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

බැංකු පනත හෝ මුදල් ව්‍යාපාර පනත යටතේ බලපත්‍ර ලබා ඇති හෝ එම පනත්වලින් විශේෂයෙන් නිදහස් කර ඇති ආයතනවලට පමණක් මහජනතාවගෙන් තැන්පතු භාරගැනීමට අවසර ඇති බවද මහ බැංකුව අවධාරණය කරනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk