2026-09-21 09:59:00 Hours
බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි දින කිහිපය තුළ තවදුරටත් වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශයේ වැසි සහ සුළං තත්ත්වය වැඩි විය හැකි බැවින්, ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන සහ අනාවැකි සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් දැනුම් දී තිබෙනවා.
මේ අතර, කන්කසන්තුරය සිට පුත්තලම, කොළඹ, ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශවලද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
සුළං නිරිත දිශාවෙන් හමා එන අතර, එහි වේගය පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර පවතිනවා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි අතර, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ක් දක්වා වැඩි විය හැකියි.
ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි අතර, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා මුහුදු ප්‍රදේශද විටින් විට තරමක් රළු විය හැකි බව සඳහන්.
එමෙන්ම පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ මාතර හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ත් අතර උසකට ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.
මේ අතර ගතවූ පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට මිලිමීටර් 104ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කළුපහන ප්‍රදේශයෙන් මිලිමීටර් 95.5ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රදේශයෙන් මිලිමීටර් 85.5ක් වාර්තා වී තිබෙනවා.
එමෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම ප්‍රදේශයෙන් මිලිමීටර් 85ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයේ දම්මුල්ල ප්‍රදේශයෙන් මිලිමීටර් 82.5ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව සඳහන්.
මේ අතර, සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක් පමණ තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk