2026-09-14 08:22:00 Hours

ශ්‍රී ලංකාව පරදා ඉන්දියාව කාන්තා ආසියානු කුසලානය දිනාගනී


...

කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (13) සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය ලකුණු 72කින් ජයගනිමින්.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 183ක් රැස් කළා.

එහිදී ශෆාලි වර්මා ලකුණු 68ක් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 59ක් රැස්කරමින් ඉන්දීය ඉනිම ශක්තිමත් කරනු ලැබුවා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් මිතලි අයෝධ්‍යා, චමරි අතපත්තු සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලුදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 111ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු ලකුණු 36ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී චරනි කඩුලු 04ක් බිඳහෙළීමට සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව ලකුණු 72කින් පරාජයට පත් කරමින් ඉන්දියාව 8 වන වරටත් කාන්තා ආසියානු කුසලානයේ ශූරතාව හිමිකර ගත්තා.

මේ අතර ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති මෙන්ම පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ සභාපතිවරයා වන මොහ්සින් නක්විගෙන් ආසියානු කුසලානය භාරගැනීම ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති අවසන් මහා තරගයෙන් අනතුරුව පැවැත්වීමට නියමිතව තිබූ ත්‍යාග ප්‍රදානෝත්සවය මිනිත්තු 50කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති අතර, ඉන්දීය ක්‍රීඩිකාවන් නක්විගෙන් කුසලානය ලබාගැනීම ප්‍රතික්ෂේප කරමින් උත්සවයට සහභාගී නොවී ක්‍රීඩක විවේකාගාරයේ රැඳී සිට ඇත.

ත්‍යාග ප්‍රදානෝත්සවයේදී අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි පදක්කම් සහ චෙක්පත මොහ්සින් නක්වි අතින් පිරිනමා ඇති අතර, ඉන් අනතුරුව ඉන්දීය කණ්ඩායමට කුසලානය පිරිනැමීමකින් තොරව උත්සවය අවසන් කිරීමට සිදුව තිබෙනවා.

පසුගිය වසරේ පැවති පිරිමි ආසියානු කුසලාන තරගාවලියේදී ද ඉන්දීය පිරිමි කණ්ඩායම මොහ්සින් නක්විගෙන් කුසලානය භාරගැනීම ප්‍රතික්ෂේප කළා.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ තීරණයට අනුව මෙවර ඉන්දීය කාන්තා කණ්ඩායමද එම පියවර අනුගමනය කර ඇති බවයි වාර්තා වන්නේ.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk