2026-09-20 10:36:00 Hours

රට කැළඹු කාලගුණය - ගතවූ පැය කිහිපයේ වැඩිම වර්ෂාව කෑගල්ලට


...

නුවරඑළිය, ගාල්ල, කළුතර, මහනුවර, කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, කුරුවිට සහ නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත්ව සිටින ලෙස අනතුරු අඟවා තිබෙනවා.

මෙම නායයෑම් අනතුරු ඇඟවීම අද (20) පස්වරු 7.00 සිට හෙට (21) පස්වරු 7.00 දක්වා බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.

මේ අතර ගතවූ පැය කිහිපය තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය කෑගල්ල දිස්ත්‍රික්කයේ මාලිබොඩ ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම ප්‍රදේශයට මිලිමීටර් 103.5ක වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ දෙල්වල තේ කර්මාන්තශාලා ප්‍රදේශයෙන් මිලිමීටර් 93.5ක් සහ ගුරුදියපොත්ත තේ කර්මාන්තශාලා ප්‍රදේශයෙන් මිලිමීටර් 87.5ක් වාර්තා වී තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ නෑබොඩ ප්‍රදේශයෙන් මිලිමීටර් 83ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින්, තද වැසි සහ ගිගුරුම් සහිත වැසි හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මේ අතර කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිතව ඉදිරි පැය 24 තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ කළු ගඟේ කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඒ අනුව බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කුඩා ගඟ සහ මගුර ගඟේ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව සඳහන්.

එමෙන්ම කුඩා ගඟ සහ මගුර ගඟ ආශ්‍රිත පහත්බිම් හරහා වැටී ඇති අතුරු මාර්ග ජලයෙන් යටවීමේ අවදානමක්ද පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ හේතුවෙන් එම ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම එම මාර්ග භාවිත කරන රියැදුරන්ද දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා.

මේ අතර මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

ඒ හේතුවෙන් පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එම ප්‍රදේශවල පදිංචිකරුවන් මෙන්ම ඒ හරහා ගමන් ගන්නා රියැදුරන්ද දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාවටද ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයක් සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත්, ආරක්ෂාව සඳහා අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර ගන්නා ලෙසත් වැඩිදුරටත් දැනුම් දී ඇත.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk