2026-11-04 13:11:00 Hours

ජීවන වියදම වැඩිම වෙලා - වෙන රැකියා අවස්ථා ඇති වෙලා - හමුදාවේ අයට දැන් රැකියාව එපා වෙලා


...

අධික වැඩබර, දීර්ඝ සේවා කාලය සහ හමුදාවෙන් පිටත පවතින වඩා හොඳ රැකියා අවස්ථා ඇතුළු කරුණු හේතුවෙන් සන්නද්ධ හමුදාවලින් සාමාජිකයන් ඉවත්වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඩී. සූරියබණ්ඩාර ඊයේ (03) පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා.

විදේශ රැකියා සහ අධ්‍යාපන අවස්ථා, සිවිල් ක්ෂේත්‍රයේ වඩා හොඳ රැකියා අවස්ථා මෙන්ම තම වෘත්තීය සුදුසුකම් හා කුසලතාවලට ගැළපෙන රැකියාවල නිරත වීමට ඇති කැමැත්ත ද හමුදා සාමාජිකයන් සේවයෙන් ඉවත්වීමට බලපාන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

පෞද්ගලික අංශයේ වැඩි ආදායම් ඉපයීමේ අවස්ථා පැවතීම ද ඊට බලපාන තවත් හේතුවක් බවයි ඔහු සඳහන් කළේ.

එමෙන්ම, පවුලේ මූල්‍යමය වගකීම් ඉහළ යාම, පවුලෙන් වෙන්ව දුෂ්කර ප්‍රදේශවල සේවය කිරීමට සිදුවීම සහ විවාහය හා පවුල් ජීවිතයට වැඩි අවධානයක් යොමු කිරීමට ඇති කැමැත්ත ද හමුදා සාමාජිකයන් සේවයෙන් ඉවත්වීමට බලපාන කරුණු අතර වනවා.

මේ අතර, අවසරයකින් තොරව සේවය අතහැර යන, විශේෂයෙන්ම රාජකාරි අතහැර විදේශගත වන හමුදා සාමාජිකයන් සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය ද නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk