2026-11-04 10:42:00 Hours
හිස් බෝතල් නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හේතුවෙන් නොවැම්බර් 1 වැනිදා සිට සියලුම මත්පැන් වර්ගවල මිල ගණන් ඉහළ දැමීමට නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබෙනවා.
මත්පැන් නිෂ්පාදන සමාගම් පවසන්නේ හිස් බෝතල් නිෂ්පාදනය කරන සමාගම පිරිවැය ඉහළ යාම හේතුවෙන් බෝතල් සඳහා අය කරන මිල ගණන් සංශෝධනය කර ඇති බවයි.
ඒ අනුව මිලිලීටර් 750ක හිස් බෝතලයක් සඳහා රුපියල් 160ක් ද, මිලිලීටර් 375ක බෝතලයක් සඳහා රුපියල් 140ක් ද, මිලිලීටර් 180ක බෝතලයක් සඳහා රුපියල් 109ක් ද වශයෙන් නව මිල ගණන් නියම කර තිබෙනවා.
මේ හේතුවෙන් වයින් ස්ටෝර්ස් මගින් අය කරන බෝතල් තැන්පතු මුදල් ද ඉහළ දමා ඇති බව සඳහන්.
ඒ අනුව මෙතෙක් මිලිලීටර් 750ක ගල් බෝතලයක් සඳහා අය කළ රුපියල් 60ක තැන්පතු මුදල රුපියල් 100 දක්වාත්, මිලිලීටර් 375ක බෝතලයක් සඳහා අය කළ රුපියල් 40ක මුදල රුපියල් 70 දක්වාත්, මිලිලීටර් 180ක බෝතලයක් සඳහා අය කළ රුපියල් 20ක මුදල රුපියල් 30 දක්වාත් ඉහළ නංවා තිබෙනවා.
බෝතල් ආපසු භාර නොගන්නා සමාගම් ද හිස් බෝතල් මිලදී ගැනීමට වැය වන අමතර පිරිවැය මත්පැන් මිලට එකතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව මිලිලීටර් 750ක ගල් බෝතලයක නව මිල රුපියල් 3,800ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඊට රුපියල් 100ක තැන්පතු මුදලක් ද ඇතුළත්.
එම මිලෙන් රුපියල් 360ක මුදලක් මත්පැන් අලෙවිසලට හිමිවන අතර, රුපියල් 611ක පමණ මුදලක් වැට් බදු ලෙස රජයට ලැබෙන බව සමාගම් පවසනවා.
සුරාබදු ඉහළ දමා නොමැති වුවද හිස් බෝතල් මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම හේතුවෙන් එම අමතර මුදල පාරිභෝගිකයන්ගෙන් අය කිරීමට සිදුව ඇති බව ද සමාගම් සඳහන් කරනවා.
2022 වසරේ ආර්ථික අර්බුදයෙන් පසුව මෙරට මත්පැන් මිල ගණන් සියයට සියයකින් පමණ ඉහළ දමා තිබුණා. 2024 වසරේ සුරාබදු ඉහළ දැමීමත් සමඟ සියලුම මත්පැන් වර්ගවල මිල රුපියල් 50ත් 60ත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට ද සමාගම් කටයුතු කළා.
එමෙන්ම, මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම සැලකිල්ලට ගනිමින් 2025 ජනවාරි මාසයේදී මත්පැන් මිල රුපියල් 20කින් පමණ ඉහළ දමා තිබුණා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සුරාබදු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු සඳහන් කරන්නේ නිෂ්පාදන පිරිවැයට සාපේක්ෂව තැන්පතු මුදල් ඉහළ දැමූ ලැයිස්තුව සමාගම් විසින් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති බවයි.
මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk