2026-10-25 21:56:00 Hours

මහනායක හිමිවරුන් භික්ෂූ අරගලයේ සිටින හිමිවරුන්ට නිකුත් කළ ලිපිය


...

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා සිදුකරන විරෝධතා හමුවේ, ශාසනික විනය සහ භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින ගෞරවය ආරක්ෂා කරන ලෙස ත්‍රෛනිකායික මහානාහිමිවරුන් සමස්ත මහා සංඝරත්නයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් මහානාහිමිවරුන් පෙන්වා දෙන්නේ ඥානසාර හිමියන් සම්බන්ධ ගැටලුව නීත්‍යනුකූලව සහ සාකච්ඡා මාර්ගයෙන් විසඳාගැනීම සඳහා තමන් වහන්සේලා දැනටමත් රජය වෙත අවශ්‍ය මැදිහත්වීම් සිදුකර ඇති බවයි.

මල්වතු, අස්ගිරි, අමරපුර සහ රාමඤ්ඤ යන නිකායන්හි මහානාහිමිවරුන්ගේ අත්සනින් මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

වර්තමාන විරෝධතා හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් භික්ෂූන් වහන්සේගේ කීර්තිනාමයට හානි වීමට කිසිදු පාර්ශ්වයකට ඉඩ නොතැබිය යුතු බව ද එහි අවධාරණය කර ඇති බව සඳහන්.

කිනම් අර්බුදයක් හමුවේ වුවද ධර්මානුකූලව සහ විනයානුකූලව ගැටලු විසඳාගනිමින් සංඝ සාමග්‍රිය ආරක්ෂා කිරීම මහා සංඝරත්නයේ පරම වගකීමක් බව ද මහානාහිමිවරුන් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම, මහජන ප්‍රසාදය තවදුරටත් වර්ධනය වන අයුරින් කටයුතු කරන ලෙස සියලු නිකාය පාර්ශ්වයන්හි මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

"ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිර වෙත ජනාධිපති සමාව ප්‍රදානය කරන ලෙස ඉල්ලා සිටිමින් විරෝධතාවල නිරත මහා සංඝරත්නය වෙත ශාසනාලයෙන් සිදුකෙරන කාරුණික දැනුම්දීමයි

ශ්‍රී ලංකාවේ ඓතිහාසික, ආගමික හා සමාජයීය සන්දර්භය තුළ භික්ෂූන් වහන්සේ යනු ජනතාවගේ පරම ගෞරවාදරයට හා පූජෝපහාරයට පාත්‍ර වන ආධ්‍යාත්මික මාර්ගෝපදේශකයාණන් වහන්සේය. එම අද්විතීය ගෞරවය හා පිළිගැනීම සුරැකී පවතින්නේ භික්ෂුත්වයට ආවේණික වූ සංවරශීලී පැවිදි ප්‍රතිපදාව සහ සම්බුද්ධ විනය ආරක්ෂා වන තාක් කල් පමණි.

එබැවින්, වර්තමානයේ උද්ගතව ඇති සංවේදී වාතාවරණය හමුවේ ගලගොඩඅත්තේ ඤාණසාර ස්ථවිර සම්බන්ධ උක්ත ගැටලුව නීත්‍යනුක ූල හා සාකච්ඡා මාර්ගයෙන ් විසඳා ගැනීමට ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ලෙස අපි රජය වෙත අවශ්‍ය මැදිහත්වීම සිදු කර ඇත්තෙමු.

දැනට මෙම සිදුවීම සම්න්ධයෙන් සිදුකරන ඇතැම් විරෝධතා දැක්වීම් පාදක කරගනිමින් ශ්‍රී ලාංකේය සමාජය තුළත්, ජාත්‍යන්තරය හමුවේත් භික්ෂූන් වහන්සේ කෙරෙහි පවතින උත්තරීතර ගෞරවය හා කීර්තිනාමය පළුදු කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරන අතර ඒ සඳහා ඉඩ නොතැබීමට සමස්ත භික්‍ෂුන් වහන්සේලා කටයුතු කළ යුතුය.

තව ද, කිනම් අර්බුදයක් හමුවේ වුව ද ශාසනික විනය හා සංඝ සාමග්‍රිය ආරක්ෂා කරමින්, එකී අර්බුද ධර්මානුකූලව හා විනයානුකූලව නිරාකරණය කර ගැනීමට කටයුතු කිරීම මහා සංඝරත්නය ලෙස අපගේ පරම වගකීම විය යුතු බව දන්වා සිටිනු කැමැත්තෙමු.

එහෙයින් ශාසන බ්‍රහ්මචර්යාවේ උදාර අරම ුණත් ඓතිහාසික භික්‍ෂු භුමිකාවේ සාමාජීය කර්යභාරයත් නිරන්තරයෙන් මෙනෙහි කරමින් “අප්පසන්නානං වා පසාදාය පසන්නානං වා භිය්‍යොභාවය” යන සම්බුද්ධෝපදේශය මත පිහිටා මහජන ප්‍රසාදය වඩා වර්ධනය වන ආකාරයෙන් කටයුතු කරන මෙන් සියලු නිකාය පාර්ශ්වයන්හි සමස්ත මහා සංඝරත්නයට මෙයින් සිහිපත් කර සිටිම්හ."



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk