2026-10-11 20:02:00 Hours

මරණ දඬුවමට නියම වූ අනෝජන් වෙනුවෙන් අභියාචනය සෞදි ශ්‍රේෂ්ඨාධිකරණයට


...

සෞදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින ශ්‍රී ලාංකික අනෝජන් සිවරාස වෙනුවෙන් සකස් කළ අභියාචනය අද (11) එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා සහ සෞදි අරාබි නීතිඥ කණ්ඩායම්වල ඒකාබද්ධ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස මෙම අභියාචනය ඉදිරිපත් කර ඇති බව සඳහන්.

අභියාචනය සකස් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ විශේෂ නීතිඥ කණ්ඩායමක් සහ සෞදි නීතිඥවරුන් අතර සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති අතර, එම කටයුතු රියාද්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා සංවිධානය කර තිබෙනවා. ඒ සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති ඕ.එල්. අමීර් අජ්වාඩ් මහතා සම්බන්ධීකරණය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය ජාලයක මුහම්මද් නබිතුමාට අපහාස වන අයුරින් සටහනක් පළ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සෞදි අභියාචනාධිකරණයක් විසින් අනෝජන් සිවරාසට මරණ දඬුවම නියම කර තිබෙනවා.

මීට පෙර පහළ අධිකරණයක් විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් නියම කර තිබුණ ද, පසුව අභියාචනාධිකරණය එම තීන්දුව වෙනස් කර මරණ දඬුවම පනවා ඇති බව සඳහන්.

අනෝජන් වෙනුවෙන් අභියාචනය සකස් කිරීමේ කටයුතුවලට ජනාධිපති නීතිඥවරුන් වන උපුල් කුමාරප්පෙරුම සහ ෆයිසර් මුස්තාෆා මෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල් අසාද් නවාවි යන මහත්වරුන් එක්ව තිබෙනවා.

මීට අමතරව, ජෙඩාහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් විනිසුරු එම්.ටී. මොහොමඩ්, නීතිඥ ෆාරිස් ෆසාල් අබ්දුල් හෆීල් මොහොමඩ් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆාගේ සම්බන්ධීකරණ ලේකම් මොහොමඩ් රියාස්ඩීන් සිල්මි යන මහත්වරුන් ද මෙම කටයුතු සඳහා එක්ව සිටිනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk