2026-09-25 18:19:00 Hours

නොවැම්බර් 1 වනදා සිට කටයුතු රැසකට TIN අංකය අනිවාර්ය වෙයි


...

2026 නොවැම්බර් 1 වැනිදා සිට නිශ්චිත කාර්යයන් කිහිපයක් සිදු කිරීමේදී වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලැස්මක් සඳහා අනුමැතිය ලබාගැනීමේදී මෙන්ම මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතුයි.

එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීමේදීද වලංගු TIN අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර TIN අංකය වලංගු බවට වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවයි.

මේ දක්වා TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයින්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව හරහා ඒ සඳහා ලියාපදිංචි විය හැකියි.

එමෙන්ම තමන් සතුව ඇති TIN අංකය වලංගුද යන්නද එම ඊ-සේවාව හරහා තහවුරු කරගැනීමට අවස්ථාව සලසා තිබෙනවා.

තහවුරු කිරීම සාර්ථක වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව සඳහන් මුද්‍රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබෙනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk