2026-09-25 21:33:00 Hours

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කථානායකගේ සහතිකය


...

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (25) සිය සහතිකය සටහන් කළා.

ඒ අනුව එම පනත් කෙටුම්පත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලෙස බලාත්මක වනවා.

පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (24) සහ අද පැවැත්වුණු අතර, එය පාර්ලිමේන්තුවේදී විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

නව සංශෝධනය යටතේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 65 සිට 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 63 සිට 65 දක්වාත් ඉහළ නංවා තිබෙනවා.

එමෙන්ම අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 19 සිට 24 දක්වා වැඩි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 137 වැනි වගන්තිය සංශෝධනය කර තිබෙනවා.

ප්‍රාදේශීය අභියාචනාධිකරණ පිහිටුවීම තුළින් විභාග කිරීමට ඇති නඩු කඩිනමින් අවසන් කිරීමටත්, නඩුවල පාර්ශ්වකරුවන්ට කොළඹට පැමිණීමට සිදුවන අවස්ථා අඩු කිරීමටත් අපේක්ෂා කෙරෙනවා.

මේ අතර, අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත සඳහාද කථානායකවරයා අද (25) සිය සහතිකය සටහන් කළා.

එම පනත් කෙටුම්පතද ඊයේ සහ අද පැවැති විවාදයෙන් අනතුරුව පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 61 සිට 63 දක්වාත්, දිසා විනිසුරුවරුන්ගේ සහ මහේස්ත්‍රාත්වරුන්ගේ විශ්‍රාම යන වයස අවුරුදු 60 සිට 62 දක්වාත් ඉහළ නංවා තිබෙනවා.

අතිරේක පළාත්බද මහාධිකරණ සහ පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමට හැකි වන පරිදි උපරිම මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 110 සිට 120 දක්වා වැඩි කිරීමටද සංශෝධනයෙන් ප්‍රතිපාදන සලසා තිබෙනවා.

ඒ අනුව අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත 2026 අංක 23 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනත ලෙස බලාත්මක වනවා.



පිළිතුරු ලබාදීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පළකරනු ලබන පුවතක් හේතුවෙන් යම් පුද්ගලයකුට, ආයතනයකට හෝ පාර්ශ්වයකට අගතියක් සිදුවන බව හැඟේ නම් හෝ යම් තොරතුරක් නිවැරදි විය යුතු යැයි හැඟෙන්නේ නම්, ඊට අදාළව ප්‍රතිචාර දැක්වීමට අප වෙබ් අඩවියේ පරිශීලකයින්ට පූර්ණ අයිතිය හිමිය.
ලංකා ලයිව් නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට බැඳී සිටින අතර, මාධ්‍යය වෘත්තීය ආචාරධර්මවලට අනුගත වෙමින් සෑම විටෙකම පිළිතුරු ලබාදීමේ අයිතියට ගරුකරයි.
ඒ වෙනුවෙන් ඔබේ ප්‍රතිචාර කරුණාකර අපට දැනුම්දෙන්න.
ඊමේල් –hello@lankalive.lk